Sunday, May 7, 2017

ශ්‍රී ලාංකීය නවකතාවේ ලිංගිකත්වය සහ සන්නිවේදනය

ශ්‍රී ලාංකීය නවකතාවේ ලිංගිකත්වය සහ සන්නිවේදනය

හැඳින්වීම

නවකතාව යනු අපරදිග සාහිත්‍යයේ සුවිශේෂත වූ අංගයකි. එම නව්‍ය කතා කළාව කාලයත් සමග පෙරදිග සාහිත්‍යද අතික්‍රමණය කරන්නට විය. ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියන් හා ඇමෙරිකන් ආදී වූ සාහිත්‍යයන්හි නව දිශානතීන් ඔස්සේ ගැඹුරු ජීවන දෘශ්ඨීන්හි නිම් වලළු පුළුල් වෙමින් විවිධාකාර වූ රටා මවමින්, විවිධාකාර වූ හැලහැප්පීම් මධ්‍යෙය් තවද පෝෂණය වෙමින් වඩා වත්නා කතා කළාව වූ කලී නවකතා කලාවයි. මෙකී සාහිත්‍යාංගය නව මානයන් ඔස්සේ යුරෝපාකරටයෙන් රංගාවතරණය කොට බටහිර උරුවෙන් ආසියාවටද ඉන් අනතුරුව මෙරටද ප්‍රභවට ලැබූ බව ප්‍රධාන ධාරාවේ මතය වේ.

එසේ උවද, ඊට අභියෝගයක් වෙමින් තවත් මතයක් සිංහල සාහිත්‍ය වංශකතාවතුළ ගොඩනැගී පවතී. එනම් සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ඇසුරු කොටගෙනම ඉන්ම පෝෂණය ලබා සිංහල නවකතාව ජනනය වූ බව.

එහෙත්, මධ්‍යස්ථවත් සංසංධනාත්මකවත් බැලූකල මින් එකදු මතයක හෝ සර්ව පූර්ණ පාරිශුද්ධ ලෙස සිංහළ නව කතාවේ ප්‍රගමනයට හේතුභුත වූ බවක් නොපෙනේ. මත ද්විත්වයම අඩු හා වැඩි වශයෙන් සිංහල නවකතාව කෙරේ බලපා ඇති බව සාධාරණ හේතු මත පිළිගත හැකිය.

'නූතන සිංහල නවකතාව, බටහිර සාහිත්‍යයෙන් අප සාහිත්‍යයට ඇතුළු වූ අලුත් සාහිත්‍යාංගයක්‌ යෑයි ඇතැම් නූතන සිංහල සාහිත්‍ය විචාරකයෝ ප්‍රකාශ කරති. මීට හාත්පසින් ම වෙනස්‌ අදහසක්‌ දරන තවත් පිරිසක්‌, එය සාහිත්‍ය සම්ප්‍රදායයට ම ආවේණික වූ ගද්‍ය සාහිත්‍ය කෘතිවල ක්‍රමානුකූල විකාශනයේ ප්‍රතිඵලයක්‌ යෑයි පවසති. මේ ප්‍රකාශයන් දෙක ම එක සේ සාවද්‍ය නමුත් ඒ දෙකෙහි ම කිසියම් අර්ධ සත්‍යයක්‌ ගැබ් වී ඇති බව ද බුද්ධිමත් පාඨකයාට පෙනී යනු ඇත. ඇත්ත වශයෙන් සිංහල නවකතාව බිහි වූයේ පැරැණි සිංහල ගද්‍ය සම්ප්‍රදායයන් බටහිර නවකතාවල ආකෘතිය හා වස්‌තු විෂයත් සංකලනය වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් යෑ යි කීම යුක්‌ති යුක්‌ත ය.'

ආචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය ( සිංහල නවකතාවේ විකාශනය)

මධ්‍යස්ථව ශ්‍රී ලාංකීය නවකතා කලාව හදාරන්නෙකුට ආචාර්යය සරත්චන්ද්‍රවික්‍රමසූරියයන් ගේ අදහසත් සමගින් එක්විය හැක්කේද උක්ත සඳහන් කරන ලද මතයයන් ද්විත්වයේම ආභාශයෙන් ශ්‍රී ලාකේය නවකතාව බිහිවන්නට ඇති බව සිතිය හැකි නිසාය.

ශ්‍රී ලාංකීය නවකතා ඉතිහාසය

ශ්‍රී ලාංකීය යටත්විජිත සමය ලෙස හැඳින්විය හැකි 16 වන ශතවර්ශයේ සිට 19 වන ශතවර්ශය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ ජනසමාජයේ ආර්ථිකමය, දේශපාලනමය, සමාජමය, සංස්කෘතිකමය යනාදී වූ සෑම සියළු ක්ෂේත්‍රයන් තුළම බටහිර උරුව දක්නට ලැබෙතත්, සාහිත්‍යාංග එනයින් අදාළ කාළ වකවානු තුළ පෝෂණය නොවූවද, 19 වන ශතවර්ශයෙන් ඔබ්බට බටහිර සාහිත්‍යෙයන් අප සාහිත්‍ය කළාව සුපෝෂණය වී මහා දැවැන්ත ගසක් සේ වැඩෙන්නට වූයේ ඉටහිර සාහිත්‍යාංග හැඩතල මනාව ආභාශය කොට ගනිමිනි.

"අපරදිග සාහිත්‍යයන් හා ගැටීම් හේතු කොට ගෙන සිංහල සාහිත්‍යයේ නියම විකාශනයක්‌ සිදු වූයේ 19 වන සියවසෙහි ඉංග්‍රීසීන් ගේ පැමිණීමෙන් පසු ව යෑ යි කිව හැකි ය."
එදිරිවීර සරච්චන්ද්‍ර( සිංහල නවකතා ඉතිහාසය හා විචාරය)

"වර්තමාන සිංහල සාහිත්‍යයේ පෝෂණයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ අපරදිග සාහිත්‍ය බව ඉදුරා පෙනෙන කරුණකි. සංස්‌කෘත සාහිත්‍යයෙන් හැකිතාක්‌ සාරය උකහා ගෙන, පසු අවධිවල ක්‌ෂුත් පිපාසාවෙන් මෙන් මලානික ව ගිය සිංහල සාහිත්‍යයට බටහිර සාහිත්‍යයෙන් ලැබුණේ විවිධ රසයෙන් යුත් ප්‍රණීත ආහාරයකි."

එදිරිවීර සරච්චන්ද්‍ර(සිංහල නවකතා ඉතිහාසය හා විචාරය)

එ‍හෙත් ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහසක් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් වැනි විද්වතුන් දරණ බවක් පෙනේ එනම්, නවකතා හෝ වේවා කෙටිකතා හෝ වේවා ලාංකීය සිංහල කතා කලාව ජාතක කතා කලාවෙන් තවද පෝෂණය වූ දේශීය බණකතා සාහිත්‍යයේ ක්‍රමානුකූල වර්ධනයක් සහිත විකාශනයක අග්‍රගන්‍යෙය්ලා සැළකිය හැකි ඵලයක් බව විටෙක වික්‍රමසිංහයන් පවසා ඇත. එසේම, අනුරාධපුර යුගයෙන් ආරම්භය සනිටුහන් වූ ඉපැරණි සිංහල ගද්‍ය හා පද්‍ය සාහිත්‍යක් සිංහලයාට උරුමව පවතිද්දීත් නවකතාවක සෙවනැල්ල දැකීම පවා 19 වන සියවසෙන් පසුව සිදුවීමද ගැටළුවට තුඩු දෙන කරැණකි. 1972 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ සිංහලාංශයේ මහාචාර්ය ආරිය රාජකරුණා විසින් විරචිත'සිංහල නවකතාවේ ආරම්භය' නැමැති කෘතියේ පවසන පරිදි සිංහල නවකතාකලාවේ ආරම්භය ඉංග්‍රීසි නවකතාවේ බලපෑම මතම සිදුවූ බව පෙන්වා දී ඇත.

"
දහනව වන ශත වර්ෂයේ මධ්‍යම භාගය වන විට ඉංග්‍රීසි නවකතා රාශියක්‌ පළ වී ඉංග්‍රීසි නවකතාව දියුණු තත්ත්වයකට පත් වී තිබිණි. මෙබඳු අවධියක පහළ වූ අයිසෙක්‌ ද සිල්වාට ඉංග්‍රීසි නවකතාව පිළිබඳ තරමක හෝ අවබෝධයක්‌ නොතිබූ බවක්‌ කිව නොහැකි ය. තමා ජිවත් වූ සමාජයෙහි වාසය කළ මිනිසුන් ගේ ජීවිත වටා ගෙතුණු ස්‌වාධීන කතාන්තර දෙකක්‌ රචනා කිරීමේ අදහස ඔහු තුළ පහළ වන්නට ඇත්තේ ඉංග්‍රීසි නවකතාවේ බලපෑම් හේතු කොට ගෙන යෑ යි සිතිය හැකි ය."

ආරිය රාජකරුණා ( සිංහල නවකතාවේ ආරම්භය)

ප්‍රස්තුතයට එළඹීමට පළමු සිංහල නවකතාවේ විකාශනය සිදුවූ අයුරු කෙසේදැයි විමසා බැලීම වටී. මුලින් සඳහන් කළ පරිදි, දශක තුනකකට නොවැඩි මිස නොඅඩු අයත්විජිත සමයක ප්‍රතිඵලයක්‌ ලෙසසමාජ, ආර්ථික, දේශපාලන, ආගමික යනාදී වූ සෑම සියළු ක්‌ෂේත්‍රයක්ම පැහැදිලි ලෙස විශාල පරිවර්ථනයකට ලක්වූ අතරම, එහි ප්‍රතිඵලයක් වශයෙන් ධනේශ්වර අර්ථ ක්‍රමයක්‌ ද, මුදල පදනම් කරගත් වෙළෙඳ පොළක්‌ ද බිහි වූ අතර, එහි ම ප්‍රතිඵලයක්‌ ලෙස නාගරික මැද පන්තියක්‌ ද බිහි විය. තවද, තේ, පොල්, රබර්, කෝපි සිංකෝනා වැනි ආර්ථික බෝග වගාවේ ව්‍යාප්තිය හා දියුණුවත් සමඟ මංමාවත් සංවර්ධනය වීම, රැකියා බිහි වීම, නගර නිර්මාණය වීම, විවිධාකාර වූ සමාජ පැලැන්තීන් නිර්මාණය වීම සිදුවිය. ඒ අතරම, 1833 සිට කෝල්බෲක්‌ කොමිසමේ නිර්දේශවලට අනුව යමින් යටත් විජිත පාලනයේ පහසුව තකා ස්වදේශිකයින් පුහුණු කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපන කටයුතු හෙවත් මිෂනාරි අධ්‍යාපනය රට පුරා ව්‍යාප්ත කිරීමට ඉංග්‍රීසි මාධ්‍ය පාසල් රටපුරා ආරම්භ කරන ලදී.19වන සියවසේ මුල් අවධියේ සිට මෙරට අධ්‍යාපනය භාරව ක්‍රියා කළ එබඳු මිෂනාරි සංවිධාන ලෙස ඇමෙරිකානු මිෂනාරි සමාගම, මෙතෝදිස්‌ත සභාව, බැප්ටිස්‌ට්‌ සංගමය, චර්ච් මිෂනාරි සමාගම, ලන්ඩන් මිෂනාරි සමාගම යනාදිය ඉන් ප්‍රධානත්වය දරණ ලදී.. ඒ අනුව ඔවුන් විවිධ උපාය මාර්ගයන් අනුගමනය කරමින් අධ්‍යාපනය ඔස්‌සේ ක්‍රිස්‌තු ධර්මය පතුරුවා හැරීමට කටයුතු කරන ලද අතර, සිංහල, දෙමළ වැනි ස්‌වදේශීය භාෂා උගත් මිෂනාරිවරු ග්‍රාමීය පාසල්වල දේශීය භාෂාවන් ගෙනුත්, නාගරික පාසල්වල ඉංග්‍රීසි භාෂාවෙනුත් අධ්‍යාපන කටයුතු මෙහෙය වූහ.බෞද්ධ, හින්දු, ආගම් අදහන ජනතාව ප්‍රතිමා වඳින මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස හඳුන්වා ඔවුන් ගේ ආගමික පුද සිරිත්, ප්‍රාථමික මිනිසුන් අනුගමනය කරන ග්‍රෝත්‍රික වැඩ බව අධ්‍යාපන ලබාදීමෙන් ම ලිපි ලේඛන මඟින් ද පතුරුවා හැරිය හ.එමෙන් ම මෙකල පැවැති සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස ඉංග්‍රීසි කතා කරන, ඉංග්‍රීසි සංස්‌කෘතියට ගරු කරන, ධනපති සමාජ පන්තියක්‌ බිහි වූ අතරම,ඉංග්‍රීසි අධ්‍යාපනය ලබමින් ඉංග්‍රීසි පොත පත පරිශීලනය කරමින් ශාස්‌ත්‍රීය නැඹුරුවක්‌ ඇති නාගරික මැද පන්තියක්‌ ද බිහි විය. ඔවුහු භාෂා ශාස්‌ත්‍රාදිය ප්‍රගුණ කරමින් කලාව සාහිත්‍යයට ඇලුම් කරමින්, එය පවත්වා ගෙන යැමට උත්සුකවූ පිරිසක්‌ වූහ. සාහිත්‍යකරුවන්, ලේඛකයන්, කලාකරුවන්, බොහෝ සෙයින් බිහි වූයේ මේ නාගරික මැද පන්තිය නියෝජනය වෙමිනි.මේ වන විට මිෂනාරීන් ගේ අධ්‍යාපන ක්‍රියාවලියට මුහුණ දෙමින් ඊට සමගාමී ව ඉදිරියට යැමේ හැකියාවක් එවකට පැවැති දේශීය අධ්‍යාපන ක්‍රමයට නොතිබිණි. විශේෂයෙන් ම බෞද්ධ විහාරස්‌ථානය මුල් කොට ගෙන ක්‍රියාත්මක වූ පිරිවෙන් ආශ්‍රිත බෞද්ධ අධ්‍යාපන ක්‍රමය මිෂනාරින් ගේ අධ්‍යාපන ක්‍රම ඉදිරියේ පසුබෑමකට ලක්‌ විය. ක්‍රිස්‌තු ධර්මය, ඉංග්‍රීසි අධ්‍යාපනය බටහිර සංස්‌කෘතිය පතුරුවා හැරීමේ මිෂනාරි වැඩ පිළිවෙළ හේතු කොට ගෙන මෙරට වසර දෙදහසකටත් වඩා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ මුල් බැසගෙන තිබූ බෞද්ධ සංස්‌කෘතික හර පද්ධතිය මුලුමනින්ම දෙදරායාමකට ලක්විය.

ඒ ආකාරයෙන්ම නවකතාවේ පළමු ආඛ්‍යානයද ක්‍රිස්‌තියානි භක්‌තිකයකු වූ ඇල්. අයිසෙක්‌ ද සිල්වා "වාසනාවන්ත පවුල හා කාලකණ්‌ණි පවුල" නමින් 1866 දීකතන්දර දෙකක්‌ ලෙසරුවන්මල්දම සඟරාවේ කොටස් වශයෙන් පලකරන ලදී.මේ කතා ද්විත්වය නවකතාවක මූලික ලක්‌ෂණ පැහැදිලි ව ස්‌පර්ශ නොකළ නමුත් නවකතාවක ස්‌වරූපයට තරමක්‌ ආසන්න ව ලියන ලද කතා දෙකක්‌ ලෙසද, පළමු වරට නවකතාවක්‌ ලිවීමට ගත් උත්සාහයක්‌ ලෙසද සැලැකිය හැකි ය. 



"ගද්‍ය ආඛ්‍යානයක්‌ වශයෙන් සැලැකිය හැකි පළමු කෘතිය වූ කලී 'රුවන් මල්දම' සඟරාවෙහි 1866 දී සිට 1883 දක්‌වා කොටස්‌ වශයෙන් පළ වූ 'වාසනාවන්ත පවුල හා කාලකණ්‌ණි පවුල' යන කතාව ය."සඟරාවෙහි පළ වී අවසන් වූ පසු කතාව 'පවුල් දෙක' යන නමින් ක්‍රිස්‌තියානි සාහිත්‍ය සමිතිය මඟින් පොතක්‌ වශයෙන් මුද්‍රණය කොට ප්‍රකාශයට පමුණුවන ලදි. කර්තෘගේ අදහස කතාවක මාර්ගයෙන් උපදේශයක්‌ ඉගැන්වීම ය. ආදර්ශවත් පවුල ක්‍රිස්‌තියානි පවුල බවය ඔහු පවසන්නේ."

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර(සිංහල නවකතා ඉතිහාසය හා විචාරය)


තම ආගමික අරමුණු ඉටු කර ගැනීම සඳහා ක්‍රිස්‌තියානි පොත් සමාගම විසින් 'ඵුල්මොණරී සහ කරුණා' යන නමින් තවත් කතා ප්‍රබන්ධයක්‌ 1852 දී පළ කරන ලද බව ආචාර්ය ප්‍රියරංජන සෙන් මහතා වංශ නවකතාවේ උප්පත්තිය ගැන ලියූ ලිපියක සඳහන් කර තිබේ. ඉන් කොටසක්‌ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ස්‌වකීය, "සිංහල නවකතා ඉතිහාසය හා විචාරය" කෘතියට මෙසේ උපුටා ගෙන තිබේ.


"1852 දී ක්‍රිස්‌තියානි ධර්මයේ සිද්ධාන්ත ප්‍රචාරය කිරීම සඳහා ලියන ලද ප්‍රබන්ධ කතාවකි. එය වනාහි ස්‌ත්‍රීන්ට ආදර්ශයක්‌ වශයෙන් ලියන ලද ඵුල්මොණරී සහ කරුණා පිළිබඳ කතාව ය. ධාර්මික ජීවිතයක්‌ ගත කිරීමට මෙරට ක්‍රිස්‌තියානි වනිතාවන් පොළඹවන අටියෙන් ලියන ලද මේ ප්‍රබන්ධය කාල්පනික කෘතියක්‌ වශයෙන් සැලැකිය හැකි නමුදු සැබෑ තතු ආශ්‍රයෙන් ලියනලද්දක්‌ යයි කියති." 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර(සිංහල නවකතා ඉතිහාසය හා විචාරය)


ඒ අනුව පැහැදිලි තාවයක් නැතත් 1906පළ කළ සිරිසේන මහතා ගේ 'ජයතිස්‌ස සහ රොස්‌ලින් හෙවත් වාසනාවන්ත විවාහය' හා මුල් ම සිංහල ස්‌වත්‍රන්ත්‍ර නවකතාව ලෙස සම්භාවනා ලද 'මීනා'සිංහල නවකතාවේ සමාරම්භය සනිටුහන් කරනු ලබනු ඇත.


ප්‍රස්තුතයට එළඹීම


ඒ අනුව, ප්‍රස්තුතයට අනුකූලව සිංහල නවකතාවේ සංන්වේදනය හා ලිංගිකත්වය පිළිබඳව සාකඡ්චා කිරීමේදී, ගැහැනිය මූලික කරගෙන ගොඩනැගුණ ලිංගිකත්ව සන්නිවේදන ලක්ෂණ මූලික වශයෙන්ම ලාංකීය නවකතා කලාව තුළ දැකිය හැකිය. බටහිර නවකතාව තුළ පැහැදිළි පුරුෂ මූලික ලිංගික සන්නිවේදන හැඩතල දක්නට ලැබෙතත් ලාංකීය නවකතා කලාව තුළ ගැහැනියම මුල්කරගත් කතා කලාවක් බොහෝවිට දක්නට ලැබෙන්නේ අප මාතෘමූලික සමාජයක ආභාශය ලැබූවන් වූ නිසාම විය හැකිය.

ස්‌ත්‍රී පුරුෂ සම්භෝගය ආසියාතික සමාජයේ ප්‍රසිද්ධියේ කතාකිරීම හෝ නිර්මාණකරණයේ ලා ගැනීම ඉතා ගුජුප්සාජනක සිදුවීමක් ලෙස බහුතර සමාජය දැකීම සරල කාරණයකි. ඒ වූකලී සංස්කෘතිකමය රාමුවෙන් ඔබ්බට ගමන් යන්නට ඇති බිය හෝ සංස්කෘතික අවයවයන්ගෙන් විනිර්මුක්ත නිර්මාණකරණයේ ඇති මැලිබව දෝයි පැහැදිලිව දක්වන්නට කරැණු නොමැත්තේ උවද, නිර්මාණකරණයේ ලා ස්‌ත්‍රී පුරුෂ සම්භෝගයවස්‌තුකර ගැනීම වරදක්‌ නොවේ.එහෙත් එය සංයමයෙන් යුකතව ක්‍රමයකට සිදුකළ යුතුය.

මිනිසා ස්වභාවයෙන්ම නොහික්මුණු නොදැමුණු සත්වයෙකි. මිනිසාගේ ඇති මනසේ උසස් බව නිසාම ඔහු තමාතුළ සඟවා සිටන ඒ නොහික්මුණු නොදැමුණු සත්වයා ප්‍රසිද්දියේ දැකීමට නොකැමැත්තේය.එහෙත් තම අභ්‍යන්තරය සමාජය නැමැති කැඩපත තුළින් මතුව එන පාවර්ථනයක් සේ දකින්නට හේ කැමැත්තේය. බොහෝ විට එහි නිවැරදිතාවය දාර්ශනික වූත්, සාමාජීය වූත්, සංස්කෘතිකමය වූත් කරුනු කාරණ වලින් ඔප්පු කර දැක්වීමට මිනිසා නිරන්තර උත්සාහයක යෙදෙයි. නව පරපුරද තාරැණ්‍යත් සමඟ ඔවුන් තුළ ක්‍රමයෙන් අවධි වන නොහික්මුණු නොදැමුණු සත්වයන් නිදහසේ මුදාහැරීමට නවකතා කලාව තුළ ලිංගිකත්ව සන්නිවේදනය ඔස්සේ මං පෙත් සොයමින් වෙහෙසෙති. එනයින්ම ප්‍රකෘත ලිංගිකත්ව රුචි අරුචිකම් විටෙක විකෘත ලෙස, සාහිත්‍යාංගයක් වන නවකතාව තුළ බහා ප්‍රකෘත සමාජයට දායාද වී ඇත.


ප්‍රස්තුතයට අදාළව ලාංකීය නවකතාව තුළ ලියැවී ඇති කෘති විමසීම

ආදරණීය විටෝරියා - මොහාන් රාජ් මඩවලගේ

මොහාන් රාජ් මඩවලගේ ආදරණීය විටෝරියා ආරම්භ වන්නේ මහනුවර සිට කොළඹ දක්‌වා දුම්රිය ගමන් ආරම්භ වීම ගැන කෙරෙන විස්‌තරයකිනි. මෙම කතාවේ මුල් පරිච්ඡේද අන්දිරිස් හා සාමෙල් සමඟින්ව්‍යාපාරික කටයුතු මතින් සරලව ගලා යයි. මෙහි ලිංගිකත්ව සන්නිවේදනය මුදා හරිනු ලබන්නේ අන්දිරිස් සාමෙල් සමඟින් නුවර යාමත් සාමෙල්ගේ බිරිය වූඑංගල්තිනාඅන්දිරිස්‌ගේපාසයෙහි බැඳීමත් සමඟින් ඇතිවන ලිංගික කාර්යයන් මතිනි. කතුවරයි විසින් ඉතා ගුජුප්සාජනක අන්දමින් රමණයේ අත්දැකීම් තුළින් පාඨක මනස සංතර්පනය කරනු ඇත. විටෙක එය නිල් චිත්‍රපටයක් ප්‍රසිද්ධියේ නැරඹුවා හා සමාන හැඟිමක් ජනිතකරලීමට සමත් ලිංගිකත්ව සන්නිවේදනයක් ඒ කෙරේ ඇත. එය මින් පෙර කතුවරයා විසින් විරචිත මාගම්සෝලිය හා ලොවීනාහි රමණ වැනුම් අතික්‍රමණය කිරීමකි. වඩාත් දරුණු ගණයේලා සැළකිය හැකි රමණීය රමණ වැනුම් ඇත්තේ සාමෙල්ගේ මරණයෙන් පසු අන්දිරිස් එංගල්තිනා හා වාසය ආරම්භ කිරීමෙන් පසුවය.දෙදෙනා අතර ඇතිවන්නේ පාඨකයාට කාමාස්‌වාදය සන්නිවේදනය කරදෙන රමණ ජවනිකාය. තවද, අන්දිරිස් තමා ළඟ හැදීවැඩුන දහසය හැවිරිදි ලීනා නම් දැරියද තම පාසයෙහි හසුකර ගනී. අනෙකුත් කතුවරුන් සේම කිසිදු සංවරයකින් තොරව පියා සමඟ රමණයේ යෙදෙන අයුරු වර්ණනය කරනවාසේම මෙයද වර්ණනය කර ඇත. එයද අමුතු ආකාරයේ ලිංගිකත්ව සන්නිවේදනයකි. අන්දිරිස් විසින්, තම දරුවන් වඩවා ගන්නට ගෙන එන ලද අයම්මාවරුන් පවා අන්තඃපුර ස්‌ත්‍රීන් බවට පත්කරගෙන ඔවුන්ව පවා ගැබ් ගන්වනවා ඇත. අන්දිරිස්ගේ පුතු වන දාහත් හැවිරිදි ඇල්ෆ්‍රඩ් තමා ඉගෙන ගැන්මට යනු ලබන ඉංග්‍රීසි නිලධාරියාගේ තිස්‌ හතර හැවිරිදි බිරිඳ සමඟද රමණයෙහි යෙදෙයි.ඔයුගේ විකෘත ලිංගික හැසිරීම් පවා කතුවරයා විසින් මහත් අභිරුචියෙන් වර්ණනා කොට ඇත.කතුවරයා විසින් පියා හා සමාන වන පිරිමින් සමඟත් මව හා සම වන ගැහැණුන් සමඟත් රමණයේ වැනුම් පාඨකයා කෙරෙන් ගෙන එන්නේ කිසිදු හිරිකිතකින් තොරවය.

ලොවීනා - මොහාන් රාජ් මඩවලගේ

මොහාන් රාජ් මඩවලගේ'ලොවීනා' කෘතිය ආරම්භ වන්නේ ඕෂෝගේ කියමනකිනි

'මිනිසාට වඩා ආදරය දකින්නට ඇත්තේ කුරුල්ලන් අතර, සිවුපාවුන් අතර, ගස්වැල් අතර, නැත්නම් අශිෂ්ට හා පසුගාමී වනගත මිනිසුන්ට වගේ ඊනියා ප්‍රගතශීලි සස්කෘතියක් හා සභ්‍යත්වයක්  නැති නිසා. නමුත් අපි හැමෝම හිතාගෙන ඉන්නෙ අප අවට ආදරය පිරී ඉතිරී තිබෙන බව. මේක බොරුවක් මුලාවක් කොන්දේසි විරහිතව ලිංගිකයට පිළිගැනීමක් ලබාදෙන තෙක් ආදරය පවතින්නෙ නැහැ. එතෙක් කිසිම කෙනෙක් කාටවත් ආදරය කරන්නෙත් නැහැ. ඔබට ජීවිතයේ ආදරයේ වර්ෂාවක් ඕනෑනම් ආදරය සමඟ ඇති මේ විරෝදය අත්හැරදමන්න. ප්‍රීතියෙන් යුතුව ලිංගිකය පිළිගන්න. එහි ඇති දිව්‍යමය බව පිළිගන්න.'
මෙම කෘතිය මඟින් නිරන්තර ධනය බලය නිලය හමුවේ අසරණ වන කාන්තාව අවසානයේදී ලිංගික භාණ්ඩයක් වශයෙන් අතිනත යෑම හෝ පරිහරණය වීම හෝ පිළිබඳව අනාවරණය කර ඇත. එක්දහස් හත්සිය දාහත අවුරුද්දේ ශ්‍රී වීර පරාක්‍රමභාහු නරේන්ද්‍රසිංහ රජු හා බද්ධව එකල පුරුෂාධිපත්‍යයට නතු වූ කාන්තා නිදහස,  ලිංගික අයිතිය අමු අමුවේ කෙලෙසෙන අන්දම මෙහි මනාව කැටි කොට ඇත.කාමාශක්ත රජවරුන්ගේ විවිධාකාර වූ ලිංගික හැසිරීම් අපුලකින් තොරව විඳදරා ගත්තන් අතර අග බිසව හා අන්ත:පුර බිසවනට අමතරව ගැමි කාන්තාවෝද වූහ. අතීත රජුන් සම්ප්‍රාදානුකූලව විවාහ කොට ගත් අග බිසවට අමතරව අන්ත:පුර බිසෝවරුන්ද විශාල ප්‍රමාණයක් වූහ. ඇතැමුන් රජු සමඟ එක් වරක් පමණක් යහන්ගත වූවෝ වූහ. ඇතැමෙක් ජීවිත කාලයම කන්‍යාවෝ ලෙසට ජීවත් වෙති. තවත් අය ස්වයං වින්දනයට ඇබ්බැහි වූවන් බවට පත් වේ.
'ඇයට හැම තැනම දස්කොන් මහ අධිකාරම් පේන්ඩ පටන් ගත්තේය. ඇඳ උඩ, දොර ළඟ, වාඩි වෙන ආසනය උඩ, කොකුම් පොතු සුදු හඳුන් කොට්ටම් අසුරන ලද පෙට්ටගම යට, මේ හැම තැනකම ඇයට ඔහු පෙනෙන්න පටන් ගත්තේය.'
'....මුලදී මුලදී පාව යන දුම් රැලි සමඟහුළඟේ ඔහේ පාව ගියදස්කොන් අධිකාරම් කල් යත්මඇගේ මේ මහානුභාව සම්බන්න දුම් ඇල්ලීල්ලෙන් ජීවය ලබා අතට අහු වන පපුවට දැනෙන සැබෑ මිනිස් රූපයක් පවට පරිවර්ථනය වෙමින් සිටියේය.
ඈ මෙය මුලින් කිසිසේත් විශ්වාස කළේ නැත. හදිසියේ දොර ළඟ,ඇඳ උඩ ඔහුගේ ස්පර්ෂය ඇයට දැනී නොදැනී තිබුණේය.එසේම ඇතැම් විටක දුම් සමඟ පැමිණි ඔහු දැනී නොදැනී ඇය තදින් බදා වැලඳගෙනද තිබුණේය......'
මෙමඟින්එවන් වූ සමාජයක ලිංගික යතාර්ථයේ සන්ධර්භයන් විවිධාකාර ආකාරයෙන් කතාව පුරාම සන්නිවේදනය කරනු ලැබ ඇත. එමෙන්ම විවිධාකාර ලිංගික සංකල්ප, සංකේත රූපයන්ගෙන්ද ගහනය. ජාතිය, ආගම කුලය හෝ තරාතිරම නොතකා සමාජයෙන් සැඟවී හෝ තමාගේ ලිංගික අවශ්‍යතාවයන් සපුරාගන්නට පුරුෂයන් උත්සුක වෙති.එවන් වූ පුරුෂයින්ගේ නොපනත්කමින් පොහොසත් බලාධිකාරියට නතු වූ කාන්තා චරිත ත්‍රිත්වයක් වටා ගෙතුන 'ලොවීනා' විටෙක සුන්දර ආදර කතාවකි. තවත් විටෙක එය කාන්තා පීඩනය හා ලිංගික සූරාකෑම අතීතයේ සිටම සිදුවූ සංසිද්ධියක් බව සන්නිවේදනය වන කතාවකි. පුණ්නා බලහත්කාරයෙන් රැගෙන ගොස් පසුව බීමත්කමින් මඩ පොකුණක ඈව අමානුශික අන්දමින් කෙලෙසීමත් තුළ බලහත්හාරය තුළින් ලංගික ආශාවන් මුදුන්පමුණුවා ගන්නා පුරුෂ ලක්ෂණය සන්නිවේදනය වනු ඇත. එසේම ඈ විසින්ම පිළිකෙව් කරන ලද සුදු හම ඇති පෙද්රො ගැස්කොන් (දස්කොන්) සමඟ මානසික ලිංගික ගනුදෙනුවකින් පසුව පුණුනා සත්‍යවශයෙන්ම අන්ත:පුර මාළිගාව තුළදීම ඔහුගේද අපහරණයට ලක්වන්නීය. ඒ වන විටත් ඔහු අගබිසවුන්නාන්සේවද තම පාශයෙහි බඳවාගෙන හමාර වී තිබිණ. අවසානයේදී සුදුහමක් සහිත"අපොන්සුවා"ට දාව උපදින "ලොවීනා", තෝමස් මේට්ලන්ඩ්ආණ්ඩුකාරයාගේ ලිංගික භාණ්ඩයක් බවට පත් වනවා ඇත.

පුරුෂයා විසින් කාන්තාව ලිංගික වශයෙන් පීඩනය ලක්කිරීම ලාංකීය ඉතිහාසයේ සිට මේ දක්වාම සිදුවූ හා සිදු වෙමින් පවත්නා කාරණාවකි. විටෙක තමන්ගේ පන්තියේම අය විසින් ද, තවත් විටෙක ඉහළ සමාජ පාන්තිකයින් විසින් ද, තවත් විටෙක රාජ්‍ය පාලකයින් හෝ දේශපාලකයින් හා ඔවුන්ගේ අන්තේවාසිකයන් විසින් ද අඩු වැඩි වශයෙන් කාන්තාව ලිංගික වශයෙන් පීඩනයට පත් කිරීම හා ලිංගික වශයෙන් සූරාකෑම සිදුකර හා සිදු කරමින් පවතී. නරේන්ද්‍රසිංහ රජු විසින් ද, දස්කොන් අධිකාරම විසින් ද, බයියාවිසින් ද පුණ්නා හෙවත් පුන්නී මේ ආකාරයෙන් ලිංගික සූරාකෑමට බඳුන් කරනවා.පිංචීඅපොසුන්සුවා අතින් ද, ලොවීනා මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා වෙතින්ද මේ ආකාරයටම ලිංගික සූරාකෑමට ලක් වී ඇත. ලොවීනාට එය දරාගන්නව ඇරෙන්නට කියාගන්නට ඉඩක් ලැබෙන්නේද නැත. ලොවීනා එසේ වුවද, අනෙක් ගැහැනුන් දෙදෙනා එය සතුටින් ඉවසයි. ඔවුන් සිතන්නේ ගැහැනුන් ඉපිද ඇත්තේ පිරිමින් වෙනුවෙන් බවය.මෙම කතාව, ලිංගිකත්ව සන්නිවේදනයෙන් තොරකර ගැනීම ඉතා අපහසු කරුණක් වුවද, ලාංකික කුල ක්‍රමය, රාජ්‍ය පාලනය යනාදී වූ තේමා ඔස්සේද දිග හැරෙන ලිංගික නවකතාවක් ගනයේ ලා සැළකිය හැකි කතාවකි. ඉතිහාසයේ සිටම කාන්තාව ලිංගික වශයෙන් පරිපීඩිත තත්ත්වයට පත්වු ආකාරය පිළිබඳව පැවසෙන සියුම් ඉකිබිඳුමක් ලෙසද මෙය හැඳින්විය හැකිය.
මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවලගේ

එසේම, මාගම් සෝලිය යනු මොහාන් රාජ් මඩවලගේ තවත් එක් මිහිරි ලිංගික වියමනකි. මෙයද අතිශයින්ම ලිංගිකත්ව සන්නිවේදනයක් සිදු කරනු ලබන චරිතයන්ගෙන් ගහන කතාන්තරයකි. ඇබිත්ත උන්නාන්සේ කෙනෙක් වන සුදු බණ්ඩා පවා කාමමිථ්‍යාචාරය සිදුකරන්නෙකි. මාගම්සෝලිය අදියථාර්ථවාදී කතාවක් සේ හැඟුනද එහි එන සියළු චරිත සමාජයේ සැඟවී පවත්නා ලිංගික හැසිරීම් එළිපිට රඟදක්වන්නන් වැනිය.පොඩිනා වින්නඹු මාතාවකි. ගෝමරී බිංදු වදන විට වින්නඹුකම් කරන්නේ ඇය යි. එහෙත් ගෝමරීට තම දරුවා වෙනුවෙන් කිරි එරෙන්නේ නැත. කිරි එරෙන්නේ පොඩිනාටයි. කිහිපවරක් තමන්ගේ ලිංගිකත්වය ප‍්‍රශ්න කරන බිංදු වරක් තම පුරුෂ ලිංගය තලා ගනී. එයට පිළියම් කරන පොඩිනා එම බෙහෙත් අඹරන්නේ තම තන කිරි වලිනි. මේ පිළියමින් ඉනික්බිති බිංදුගේ පුරුෂලිංගය ක්‍රමයෙන් විශාල වන්නට පටන් ගනී. මේ ආරංචිය ලැව් ගින්නක් සේ ගම්දනව් වල පැතිරී රට පුරා පුරුෂයින් පොඩිනාගෙන් මේ රහස් බේත ගන්නට පැමිණෙති.බැලූ බැල්මට මෙය ලංගික රසයෙන් කියවිය හැකි කතාන්දරයක් වුවත් ලිංගිකත්වය සන්නිවේදනය කරන අතරම මවුකිරෙන් තේජස් වන පුරුෂ ශක්තිය පිළිබඳව කතා කිරීමක් සේද දැකිය හැකිය. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිංහළ පුරුෂයින් නඟා සිටුවන්නට යොදාගත් සංකේතාත්මක භාව ප්‍රකාශනයක් විය හැකිය.

මෙම කතාවද කතුවරයා අධියථාර්ථවාදී ලිංගික සන්නිවේදනයක් සිදු කරනු ලබන කතාවක් සේ ගිනිය හැකි වුවද, එම තේමාව ඔස්සේම සැබෑ ජීවිතාවබෝධයක් ලබාදෙන බවත් කිව යුතුම කරුණකි.
කන්දක් සේමා - සුමිත්‍රා රාහුබද්ධ

සුමිත්‍රා රාහුබද්ධගේ කන්දක් සේමාකෘතියේ නූපා යන ස්ත්‍රි චරිතයද, ලිංගික වෙළඳපල තුළ අළෙවි වන තවත් එක් චරිතයකි. ඇය දුක් දොම්නස් දිරියෙන් දරාගන්නා ගැහැණියකි. විවාහයෙන් පසුව ජපානයේ, නීගතා හී, සන්ජෝ නගරයෙහි වාසය සඳහා ඇය පිටත් යයි. ඇගේ සැමියා වන ජපන් ජාතික සුමිකාවා මහතාගේ නිවසට ඇතුළු වන මෙහොතේදීම ඇයගේ සියළු බලාපොරොත්තූන් සිඳී යයි. අවසන ඇයට අනත්ත වද වේදනා මධ්‍යයේ, තම නිදහස, සිතුවිලි පවා පවාදී දී ජීවිතය පටලවාගන්නට සිදු වේ.එහි ලිංගිකත්වය සන්නිවේදනය කර ඇත්තේ මඳක් වෙනස් ආකාරයෙනි.

".....ලංකාවට ගිහින් එහේ හිටියත් අපිට හම්බ වෙන්නෙ එක්කො නාකි මිනිහෙක්.
නැත්නම් අබලන් වෙච්ච මිනිහෙක්. සැපකුත් නැතුව. එහෙමත් නැත්නම්, මිනිස්සු ගොඩක්....රෝසා මිටියකින් පපුවට තට්ටු කළා.

"..
මට මේ මිනිස්සුන්ගෙන් නම් වැඩක් නෑ. කාලා ඇඳලා අම්මලාට කීයක් හරි අරින්න තියෙනවා නම් එච්චරයි.."

ලිංගිකත්වය මතින්ම ජීවිතය ගොඩ නඟන්නට නූපා වෙහෙසුනද කතාව ගොඩනඟා ඇත්තේ කිසිදු ලිංගික කරුණක් ඉස්මතු නොවන පරිදි වේ. මනා සංයමයකින් යුක්තව කතාව තුළ ලිංගිකත්වය සන්නිවේදනය වේ. එයින්ම කතුවරියගේ ශික්ෂණය විද්‍යමාන වනු ඇත. අශ්ලීල පිරිමි ලිංගිකපරිකල්පනයන් පුරුෂ මූලික ලිංගික කතාන්දර සහිත සිංහල නවකතාව තුළ මෙය ඉන් ඔබ්බට නව මානයන් ඔස්සේ ලිංගිකත්වය සංනිවේදනය කරනු ලබන නවකතාවක් ලෙස හැඳින්විය හැකිය. රටක කඩා වැටෙන ආර්ථිකය මත්තෙන් තම ජීවිතයේ අභිමතාර්ථයන් මුදුන්පමුණුවාගන්නට වෙහෙසෙන කාන්තා චරිත අවසානයෙදී නතරවන මානය පිළිබඳව ඇය ඉඟියකින් පවසා ඇත. ලිංගිකත්වය සන්නිවේදනය කරනු ලබන්නේ ඒ වූ ජීවන දෘශ්ඨිය පාඨකයා කෙරේ අවබෝධ කරලීමේ මුඛ්‍ය අභිමතාර්ථයෙන් විය යුතුය.

පිරිමි ගොඩයි - මං විතරයි උපුල් ශාන්ත සන්නස්ගල

            උපුල් ශාන්ත සන්නස්ගලගේ පිරිමි ගොඩයි - මං විතරයිකෘතිය ස්ත්‍රී කේන්ද්‍රීය සමාජයක් පිළිබඳව වූ සමාජ කියවීමකි.සමාජය තුළම කැලතී සමාජය මතින්ම ලිංගිකත්වය සන්තරපණය කරගනීමට යත්න දරණ ලද, නගරය, ආගමික ජීවිත, ඕපදූප, දේශපාලනය වැනි දේවලින් ඔද්දල්වූ සමාජය මතින් ස්ත්‍රීය සමාජගතවීමේදී මුහුණදෙන විවිධාකාර වූ සමාජ සංසිද්දීන් මෙම කෘතිය තුළ හමුවේ. බලය මත දෝලනය වන ලිංගිකත්වය රිද්මා හෙවත් චුට්ටී වටා කතාන්තරයක් ලෙසට ගෙතී යයි. බාප්පා කෙරෙන් කාන්තාවක් වන ඈ පසුව රැයක් දවාලක් නොමැතිව තාත්තා හා බාප්පා අතින් වරින් වර කෙලෙසීමට ලක් වේ. එහෙත් ඇයකිසිදු තැනක ඒ කෙරේ විරෝධතාවත් නොදක්වයි. එයද එක්තරා ආකාරයක වෙනස්ම වූ ලිංගික සන්නිවේදනයකි. කතුවරයාට අනුව, රිද්මා ගොඩනැඟී ඇත්තේ පිරිමින් අතින් කෙලෙසීමට පමණක්ම යැයි කියාපෑමක්ද මෙහිදී දක්නට ඇත. එහෙත් එකම තැනක පමණක් ඇය රාජයියාට පිහියෙන් ඇන නැවත වරක් තමා කෙලෙසූ බාප්පා ඇසුරටම පත්වේ. එමෙන්ම මෙහි විකෘති ලිංගික හැසිරීම්ද සන්නිවේදනය වන අවස්ථා ද්විත්වයක් මෙම කෘතියේ හමු වේ. එනම් මහළු පූජකයෙකු සමඟ හා විල්සන් නැමැති හැඩි දැඩි පුරැෂයෙකු සමඟ වේ. කාතියේ හමු වන තවත් ගැහැණු චරිත දෙකක් වන සුද්දී හා සෙදෝනා ද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වෛශ්‍යෙයෝ වෙති. කෙසේ හෝ අවසානයේ රිද්මාට අවශ්‍ය වන්නේ මහාචාර්ය ඔස්කා සේනානායක නම් වන පුද්ගලයෙකුට දාව දරුවකුය. මෙම කෘතිය මුඛ්‍යාර්ථයෙන්ම විකෘත ලිංගිකත්වය අමු අමුවේම මැනවින් සංනිවේදනය වන නවකතාවක් වූවද,ස්ත්‍රිය මූලික කරගත් ලිංගික කතාවක් සමාජය වෙත සන්නිවේදනය කිරීමේදී භාවිතයට ගතහැකි සංඥාවේදයේ බොහෝ සුන්දර ස්ථාන මෙමඟින් මනාව ස්පර්ෂකර ඇත.

ප්‍රස්තුතයට අනුකූලව
විශ්ව සම්භාවය සාහිත්‍යයේද, ජාතක පොත ඇතුළු චිරන්තන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයේද ජීවිතාවබෝධය ලබාදීම සඳහා ඉතා සංයමයෙන් හා සංයත ආකාරයට ලිංගිකත්වය වස්තු විෂයය කොට ගත් අවස්ථා කොතෙකුත් ඇත. සිංහළ ගැමි කවියාද, ජන නාට්‍ය කරුවාද, කිසිදු විටෙක ලිංගිකත්වය බැහැර කොට තම නිර්මාණකරණයෙහි ලා යෙදී නොමැත. එමතුද නොව, ශාන්තිකර්ම, අවුරුදු චාරිත්‍ර හා අවුරුදු ක්‍රීඩා ආදිය පවා ලිංගිකත්වයෙන් විනිර්මුක්ත නොවීය. එහෙත් වර්තමාන නව පරපුර නවකතාකරණයෙහි යෙදීමෙදී කිසිදු හිරිකිතයකින් තොරව, ගුජුප්සාජනක අන්දමින් ලංගිකත්වය කරලියට ගෙන ඒම සිදුකිරීම කණගාටුවට කරුණකි. වර්තමාන ඇතැම් පුස්තකාල නිර්දේශිත නවකතා පාසල් පුස්තකාල සඳහා නිර්දේශ කිරීමද කණගාටුවට කරුණකි. මන්ද යත් විකෘත කාමාශක්ත භාෂා ප්‍රකරණයේ හා වාග් රාසායනෙහි ඇති යෙදීම් යොදා කර ඇති රමණිය ලිංගිකත්වය විදහා දක්වන යෙදුම් වලින් අපට පැහැදිලි වන්නේ ඔවුන් කාමාස්වාදය හා ශෘංගාරය වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමේ ප්‍රඥා ඌණතාවයක් කොහේ හෝ ඇති බවක් පෙනේ. උක්ත සඳහන් කර ඇති නවකතා සියල්ලක්ම පාහේ මේ ගනයේ ලා සැළකිය හැකි ඒවා වේ. එහෙත් සුමිත්‍රා රාහුබද්ධගේ කතා කලාව මඳක් සංයම ආකාරයට ගලා යයි. එහි අමු අමුවේ ලිංගික කර්තව්‍යයයන් විස්තර කොට නැත. තවද, නෙරුදාගේ ලියුංකාරයායන කෘතිය සීග්‍රගාමීව පරිවර්තනය කළ කෘතියක් බව පෙනෙන්නේ එහි පරිවර්තකයා ලාංකීය සමාජ සංස්කෘතික කාරණා පිළිබඳව තැකීමක් කොට නැති කමිනි. ඇතැම් තන්හි ලිංගිකත්වය අමුවෙන් ප්‍රකාශනය කර ඇත. ඒවා නිර්මාණ ලෙස නොව ලිංගික උත්තේජකයක් වශයෙන් විකිණෙන භාණ්ඩයක් බවට විටෙක පත්වී ඇත. මුල් කෘතිය වෙනත් සංස්කෘතිකයක උත්පත්තිය ලැබූවද, එය අප සංස්කෘතියට අනුගත කර ගැනීමේදී ඒවා ඒ ඒ රටවල සංස්කෘතියට ගැපුනද, ලාංකීය දරු පරම්පරාව පිළිබඳව කතුවරයාට මීට වඩා වගකීමක් තිබිය යුතුමය. චමිල ලියනගේගේ කොළඹ කළුවරකතාව ප්‍රධාන වන්නේම විවිධ ගැහැනු පිරිමි සම්බන්ධතා සමගය. එක් තැනෙක ප්‍රධාන කතා නායිකාව වන නිත්‍යාට ඇගේ මව තමාට විවාහය සඳහා යෝජනා කළේ උමේෂ් නමැත්තා සමග සිටින අවස්ථාවක් මුණගැසේ. නමුත් එය කිසි විටෙක ලිංගිකත්වය ඉස්මතු නොකරන ආකාරයකට ලියැවී තිබිණි. සෑම විටම අප සමාජයට සංස්කෘතියට අදාළ වන සේ නවකතාව වුව සම්පාදනය වූවා නම් ලාංකීය නවකතාතාව මීට වඩා බොහෝ දුර ගොස් තිබෙන්නට පිළිවෙන. උදාහරණ වශයෙන් මාර්ටින් වික්‍රමසිංහයන් ගේ ¹විරාගය¹ නවකතාවේදී ලිංගිකත්වය කිසි විටෙක හුවා නොදක්වතත් ලාංකිකයෙකුගේ චිත්ත සංතානය තුළ එය කියැවීමේදී නිරායාසයෙන් රසොත්පත්තියක් ගෙල කෙමෙන් ජනනය වේ. එයයි සංයමයෙන් යුක්තව ලිංගිකත්වය නිර්මාණකරණයෙහි ලීම.
කේ. ඒ. සී. චතුරංගී,
FGS/MA/MACO/2016/063
ආශ්‍රිත ග්‍රන්ත;
1.       සිංහල නවකතාවේ විකාශනය - ආචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය
2.       සිංහල නවකතා ඉතිහාසය හා විචාරය - එදිරිවීර සරච්චන්ද්‍ර
3.       සිංහල නවකතාවේ ආරම්භය - ආරිය රාජකරුණා
4.       ආදරණීය විටෝරියා - මොහාන් රාජ් මඩවලගේ
5.       ලොවීනා - මොහාන් රාජ් මඩවලගේ
6.       මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවලගේ
7.       කන්දක් සේමා - සුමිත්‍රා රාහුබද්ධ
8.    පිරිමි ගොඩයි - මං විතරයි උපුල් ශාන්ත සන්නස්ගල











No comments:

Post a Comment