සිංහල සන්දේශ කාව්‍ය තුලින් සන්නිවේදනය වන ලිංගිකත්වය
හැඳින්වීම
සංදේශ කාව්‍යයක් බිහිවනුයේ කිසියම් පණිවුඩයක් තවත් අයෙකුට
පැවසීමට හෙවත් “යම් සංදේශයක් ග්‍රාහකගත කිරීමේ අරමුණ” පෙරදැරි
කරගෙනය. එය අයත්වනුයේ “මහා කාව්‍ය සම්ප්‍රදායට” වීම
විශේෂයෙන් හඳුනාගතයුතු ලක්ෂණයකි. භාරතයේ
මෙන්ම ලාංකික සංදේශ කාව්‍ය සඳහාද ආදර්ශ ග්‍රන්ථය වූයේ මහාකවි කාලිදාසයන්ගේ “මේඝදූතය” නම් සංස්කෘත
දූත කාව්‍යය බව පිලිගත් මතයයි.
ලාංකේය කලා නිර්මාණ තුලද සංදේශ කාව්‍ය සම්ප්‍රදායක් බිහිවීම
සදහා බලපා ඇති සාධක ප්‍රධාන වශයෙන්
කිහිපයකි.
01.
මෙයින් පලමු
සාධකය ලෙස ඉන්දියානු උපමහාද්වීපය ආශ්‍රිත රටවල් කරා ව්‍යාප්ත වී ගිය “පුලුල් ඉන්දීය
ශිෂ්ටාචාරය” (Pan
Indian Civilization) හඳුන්වා දිය
හැකිය. ඉන්දියාව ආසන්නයේ පවතින රටවල්වල පැවති
සංස්කෘතිකාංග ගොඩනැඟීමෙහිලා මෙම පුලුල් ඉන්දීය ශිෂ්ටාචාරය ප්‍රබල ලෙස බලපා ඇති අතර අතීතයේ මෙන්ම වර්තමානයේදීද ලාංකේය ගද්‍ය
සාහිත්‍යය‚ ගීතය‚ කවිය සහ නර්තනය වැනි විවිධ කලා නිර්මාණවලදී මෙම භාරතීය
බලපෑම පැහැදිලිව දැකගත හැකිය.
02.
සංදේශ කාව්‍ය
රචනා වූ යුගයන් තුල පැවති විදග්ධ සමාජය බොහෝවිට ඇසුරු කලේ සංස්කෘත භාෂාව හා භාරතීය
සංස්කෘතියය. එබැවින් සිය නිර්මාණ බොහෝවිට භාරතීය කලා නිර්මාණ මත පදනම් වූයේ “ඒවා උසස් කොට
සැලකීමේ” මානසිකත්වයක් ඔවුන් තුල පැවතීම හේතුවෙනි.
03.
පණිවුඩයක් ග්‍රාහකගත
කිරීමේ ක්‍රියාවලිය සදහා සන්නිවේදකයා හා ප්‍රතිග්‍රාහකයා අතර “පණිවුඩය
ගෙනයන්නෙක්” හෙවත් දූතයෙකු සිටිය යුතුය. කාලිදාසයන් විසින් අචේතනික
වස්තුවක් වූ මේඝය හෙවත් “වැසි වලාව” සිය දූත
මෙහෙවරෙහි යොදාගනු ලැබූවත්‚ ලාංකේය සංදේශ කාව්‍ය
නිර්මාණකරුවන් ඒ සඳහා පක්ෂීන් යොදා ගත්හ. පණිවුඩ
හුවමාරුව සදහා සතුන් යොදාගැනීම අතීත සමාජයේ බහුලව භාවිතා කල උපක්‍රමයකි. සංදේශ
කාව්‍යවලදීද දූත මෙහෙවර සදහා පක්ෂීන්ව යොදාගත්තේ එය පොදු ජනතාවට බෙහෙවින් සමීප වීම
තුලින් සිය උපක්‍රමය සාර්ථක වේයැයි නිර්මාණකරු තුල පැවති පූර්ව විනිශ්චය හේතුවෙනි.
සංදේශ
කාව්‍යයකින් එහි නිර්මාණකරුවා අපේක්ෂා කල ප්‍රධාන අරමුණ නම් යම් පණිවුඩයක් වඩාත්
රසවත් ලෙස ග්‍රාහකගත කිරීමයි. එහිදී විවිධ උපමා‚ රූපක සහ අලංකාර යෙදුම් භාවිතා කර
ඇත. එක් එක් සංදේශ කාව්‍යයන්හි ආඛ්‍යාන රීතියට අනුව එකී භාවිතයන්හි විවිධ වෙනස්කම් සියුම්ව අධ්‍යයනය
කලහැකි අතර ඒ සදහා නිර්මාණකරුවාගේ පරිකල්පන මට්ටම‚ ඔවුනගේ පුද්ගල ආකල්පයන් සහ සංදේශ
කාව්‍යය බිහිවූ අවධීන්හි ඉස්මතුව පැවති සමාජ හා සංස්කෘතික සාධකද බලපා ඇති බව
සියුම්ව අධ්‍යයනය කිරීමේදී තහවුරු වේ.
සිංහල සන්දේශ කාව්‍යවල දක්නට ලැබෙන විශේෂත්වය නම් ග්‍රාහක
ගතකිරීමට අපේක්ෂිත පණිවුඩය කුමක් වුවද‚ කාව්‍යයේ තැනින්
තැන “ලිංගිකත්වය සන්නිවේදනය වන අවස්ථා” සියුම් ලෙස
ඉස්මතුකර පෙන්වීමයි. පුහුදුන් මිනිස් සිතකට ලිංගිකත්වය පිලිබද හැගුම් දැනවීම යනු
ඔහුගේ යටිසිත තුල ඒ පිළිබඳව පවතින “නිසග කුතුහලය”
අවුස්සාලීමකි. යම් නිර්මාණයක් තුල එසේ හැඟුම්
පුබුදුවාලීම තුලින් එම නිර්මාණය නොකඩවා රසවිඳීමට මානවයා
නිතැතින්ම පෙළඹේ.
මෙම සරල සිද්ධාන්තය අවබෝධකරගත් සංදේශ කාව්‍ය රචකයන් සිය දූත මෙහෙවරේ යෙදෙන පක්ෂියාහට සිය ගමන
අතරතුර දක්නට ලැබෙන දිය කෙළි වැනුම්‚ රඟන ළඳුන් පිලිබද වැනුම්‚ පුර වැනුම් ආදී
විවිධ අවස්ථාවලදී ශෘංගාරය ඉස්මතුවන විවිධ අවස්ථාවන් පිලිබඳ රසබර කරුණු විටින් විට ගෙනහැර දැක්වීමක් සිදුකරන අතර එවන්
අවස්ථා පිළිබඳව විස්තරාත්මකව විමර්ශණය කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ඒ සඳහා විශිෂ්ට
සිංහල සංදේශ කාව්‍යයන් ලෙස විචාරක බහුමානයට පාත්‍ර වී ඇති සැළලිහිණි සංදේශය‚ හංස සංදේශය‚ මයුර සංදේශය‚ ගිරා සංදේශය
හා කෝකිල සංදේශය තුල දක්නට ලැබෙන ශෘංගාර රසය පදනම් කරගත් කවි කිහිපයක් ම’විසින්
නිදසුන් ලෙස භාවිතා කර ඇත.
සැළලිහිණි සංදේශය
සිංහල
සංදේශ කාව්‍යාවලියෙහි විශිෂ්ටතම සංදේශ කාව්‍යය ලෙස තොටගමුවේ
ශ්‍රී රාහුල හිමියන් විසින් සම්පාදිත “සැළලිහිණි සංදේශය” හදුන්වා දිය හැක. ස්ථානෝචිත ප්‍රඥාවෙන්
හෙබි මධුර මනෝහර හඬක්
සහිත පක්ෂයෙකු වන බැවින් සැළලිහිණියා මෙම සංදේශය සදහා දූත මෙහෙවරට යොදාගැනීමට හේතු
සාධකවී ඇති බව පෙනේ. පද්‍ය 108කින් යුත් මෙය “ජයවර්ධනපුර සයවැනි සිරිපැරකුම්
රජුගේ කණිටු දියණිය වන උලකුඩය (ලෝකනාථා) දේවියට පුත් කුමරෙකු ලබාදෙන මෙන්
කැළණිය විභීෂණ දෙවියන් වෙත කෙරුණු ආයාචනාවක් ලෙසින්” විරචිතය. මෙම සංදේශ කාව්‍යයේ
අන්තර්ගතවන “ජයවර්ධන
පුර වැනුම්” තුල
ලිංගිකත්වය ප්‍රබල ලෙස සන්නිවේදනය වන පද්‍යයන් අන්තර්ගතවී ඇත.
සිසි වන උයන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුලුලුකුළ රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන
13 පැදිය
[ජයවර්ධනපුර
කාන්තාවන්ගේ මුහුණු සඳකට උපමා කර ඇති සැළලිහිණි සංදේශ
කවියා ඔවුනගේ ඉඟ මිටින් ගතහැකි බව ප්‍රකාශ කරමින් ඔවුනගේ පුළුල් වූ උකුළ කරත්ත
රෝදයකටද‚ පයෝධරයන් තිසරුන්ටද තුලනය කරයි.]
“සඳ” යනු ස්වභාවයෙන්ම සුන්දර කාන්තිමත් වස්තුවකි. හිරු මෙන් පියවි
ඇසින් දැකීමට අපහසු වස්තුවක්ද නොවේ. එබැවින් කාන්තා මුහුණ සඳට උපමා කිරීම තුලින්
ඇගේ මුහුණ දැකුමට ප්‍රියජනක වස්තුවක් ලෙස අර්ථවත් වේ. එමෙන්ම ළඳුනගේ මුහුණේ වටකුරු
ස්වභාවයද මෙම උපමාවේදී සැලකිල්ලට ගෙන ඇත.
පුළුල්
වූ උකුල කරත්ත රෝදයකට සමාන කිරීමට එහි වටකුරු ස්වභාවය මෙන්ම ගමනේදී උකුල සෙලවෙන
ආකාරයද සිහියට ගෙන ඇත. එමෙන්ම කාන්තාවගේ පිරිපුන් පියොවුරු හංසයන්ට සමාන කිරීමෙන්ද
ඒවායේ හැඩය එනම් වටකුරු බව සහ හංසයෙකුගේ සුන්දරත්වය වඩාත් අර්ථවත් වන අයුරින් මෙම
උපමා භාවිතා කර ඇත. පිරිමියෙකු විසින් නාරි දේහයකින් දැකීමට මහත් අභිරුචියක් සහිත
ඉහත අවයව වල ස්වභාවය පැහැදිලි කිරීම සඳහා පිරිමි සිත තුල ලිංගික හැඟීම් වර්ධනය
කරවන උපමා යොදා ගැනීමක් මෙතුලින් පැහැදිලිව දක්නට ලැබේ.
ළඳුන්
දෙවඟනන්ගෙන් වෙනස් වනුයේ ඔවුන් “ඇසිපිය
හෙලීම නිසා පමණක් බව” පවසමින් කවියා මූර්තිමත් කරනුයේ එම කාන්තාවන් ඉතාමත්ම රූබර වන
බවකි. දෙවඟනන් යනු ඉතා රූබර පිරිසක් බවට ජන සම්මතයේ අදහසක් පැවතීම කවියාට මෙතැනදී
සිය උපමාව සඳහා රුකුල් වී ඇත. “රූබර ළඳක් හා සංවාසයේ යෙදීමට අකමැති කුමන පිරිමියාද?”
යන්න මෙහිදී කවියෙන් අප වටහා ගත යුතු නිලීන අර්ථයයි. එබැවින් මෙම උපමාව තුලින්
ජනිත වනුයේද පිරිමි සිත තුල කෙමෙන් මෝදුවන ලිංගික හැඟීම් බව ප්‍රත්‍යක්ෂ වේ.
“උදා
වැනුමෙහි” දක්නට ලැබෙන පහත පැදියද විමසා බලන්න.
වෙසඟන තුඟු තන යුග රොන් කොකුමඟර
පිස එන මඳ පවන් ඇද විල්
ලිහිණි සර
ගොස අලුයම පසතුරු සවනතෙහි කැර
ඇස නිදිගැට හැර නැගි සිටු උදා
හිර
23 පැදිය
[දූත මෙහෙවරෙහි යෙදෙන සැළලිහිණියාට
කවියා උපදෙස් දෙනුයේ හිරු උදාවත් සමග නැගී සිට වෙසඟනන්ගේ උස්වූ දෙපියයුරුවල ගැල්වූ
කොකුම් ආලේපයන්හි සුවඳ පිස
හමා එන මඳ සුළඟ හා පංචතූර්ය නාදය අසා ප්‍රබෝධමත්ව
ගමන යලි ආරම්භ කරන ලෙසයි.]
“බමුණු
මතවාද ප්‍රබලව පැවති” අතීත
සමාජය තුල සුභ ලකුණක් වූ වෙසඟනකගේ
පියයුරුවල ස්වභාවය හා එහි පහස පිලිබද සියුම් ශෘංගාරාත්මක ආකල්පයක් රසික සිත් තුල
ජනිත කිරීමට කවියා සමත්වී ඇත. අතීත සමාජය ගමනක් ආරම්භයේදී අදටත් වඩා “සුභ පෙර නිමිති” බැලීම වැදගත් කොට සලකන ලද අතර
වෛශ්‍යාවන්ගේ පයෝධරවල පහස ලැබූ කොකුම් සුවඳ විඳීමට උවදෙස් දීම වු කලී කම්සැප විදීම තුලින් තෘප්තිමත් වීමට දූතයාහට කෙරෙන
“නිසග
ආරාධනාවක්” සේද
සැලකිය හැකිය.
46
වැනි පැදියෙහි දක්නට ඇති “සැඳෑ වැනුමෙහි” නාරි දේහයෙහි චමත්කාරය පමණක් නොව “ස්ත්‍රී පුරුෂ සම්භෝගය” පිලිබඳවද රසවත් විස්තරයක් ඇතුලත් කර ඇත.
සපුමල් යොහොඹු ලා බැඳ වරල මනරඟ
පැහැදුල් දොඹ කැකුලු හර රලා තන’ග
රොන’වුල් නා කුසුම් තනලා කොඩොල් රඟ
දහවල් උයන් කෙළි කෙළැ සලෙලුන් සමඟ
[සපුමල් හා යොහොඹු මල් දමා‚ වරළස සිත්සේ බැඳ‚ බබළන දොඹමල්
කැකුලුවලින් තැනූ මාල ගෙලෙහි හා පියොයුරු අග බැඳ‚ රේණුයෙන් පිරුණු නාමල්
කුණ්ඩලාභරණ ලෙසින් කන්වල පැළඳගෙන‚ දිවාකල්හි සළෙලු තරුණයන් හා උද්‍යාන ක්‍රීඩාවෙහි
නිරතවන බවක්‚ (ඉදිරි පද්‍යද හා සම්බන්ධ වූ) මෙම කවියෙන් දක්වා ඇත.]
මලින් අලංකාර කරනලද යුවතියන්ගේ පයෝධර පිලිබදව සිහිපත් කරන විටදී
රසික සිත් අමන්දානන්දයට පත්වේ.ගෙල හා ළැම පෙදෙස මලින් පමණක් ආවරණය කර “සළෙලුන් හා
ලෝකාස්වාදරතියෙහි යෙදෙන කාමිණියන්” පිලිබදව චිත්ත රූපයන් මැවීම තුලින් මනා
ලිංගිකත්ව සන්නිවේදනයක් සිදු කෙරේ. එය මෙම කාව්‍යයේ ඉදිරි පැදි මහත් අභිරුචියෙන්
යුතුව කියවීම කෙරෙහි රසික සිත් නිරායාසයෙන්ම පොළඹවන්නක් ලෙසද හැදින්විය හැකිය.
හංස සංදේශය
වනවාසී යතිවරයෙකු වන වීදාගම හිමියන් විසින් සම්පාදිත හංස සංදේශය වූ
කලී “ජයවර්ධනපුර
සයවැනි සිරිපැරකුම් රජු ඇතුලු සැම ආරක්ෂා කරදෙනමෙන් උපුලුවන්‚ සමන්‚ කඳ කුමර සහ විභීෂණ දෙවියන් යැදීමකි.” මෙම කාව්‍ය සංග්‍රහය සරාගී වර්ණනාවලින් තරමක් ඈත්ව බොදු මුහුණුවරකින් යුතුව
සම්පාදනය කරන ලද්දක් වුවද‚ එහි ස්ත්‍රී
වර්ණනාද දක්නට ඇත. සංස්කෘත ශ්ලෝකයන්හි දැක්වෙන ආකාරයට හංසයා හට “දියෙන් කිරි වෙන්කරගත හැකි
සුරුබුහුටිකමක් පැවතීම” නිසාත්‚ හංසයාගේ සුදු පැහැය පිවිතුරුබවේ
සංකේතයක් වීම කාව්‍ය රචක හිමිනමගේ සිත් පැහැරගැනීමට හේතුවීමත් හේතුකොටගෙන මෙම
සංදේශ කාව්‍යයේ දූතයා ලෙස හංසයෙකු තෝරාගෙන ඇත. සියලු සිංහල සංදේශ කාව්‍යයන් අතරින්
හංස සංදේශය තුල ලිංගිකත්වය අවම වශයෙන් සන්නිවේදනය වීමට හේතුව කතුවරයා ථෙරවාද බුදු
දහම තුලින් පතන ලොවුතුරු සුව අගය කල අයෙකු වීම බව පැහැදිලි කරුණකි.
මහා
කාව්‍ය ලක්ෂණයක් වූ සංදේශ කාව්‍ය රැසකම පාහේ දියකෙළි වැනුමක් තිබීම හා එහි අතිශය ශෘංගාරාත්මක
ජවනිකා මහත් අභිරුචියෙන් යුතුව වර්ණනා කිරීම
දක්නට ලැබුණද හංස සංදේශයෙහි කතුන් දියකෙළියෙහි යෙදුනු බව මිස “දියකෙළි වැණුමක” නොයෙදෙයි.
මිනිසෙක් දිය පීනා යයි එතෙරට
අඟනක් දිය පීනා එයි මෙතෙරට
පහරක් දුන් සරණින් ඔහු සිරසට
අනිකෙක් ඇඬුවා එසඳෙහි දුර සිට
84 පැදිය
විනෝදකාමී
ජනයාට සිය සරාගී මනදොළ සපුරා ගැනීමට ලැබෙන අනඟි අවස්ථාවක් වන දිය කෙළියේදී වන
සිදුවීමක් මෙම පැදියට මුල්ව ඇත. මිනිසෙක් දිය පීනා එතෙරට යාමත් කතක් දිය පීනා
මෙතෙරට ඒමත් සිදුවන අවස්ථාවකදී‚ එම පිරිමියා කතට යම් කවටකමක් කලා විය යුතුය.
එවිට කිපුණු කත ඔහුගේ සිරසට පහරක් එල්ල
කරයි. එසේත් නැතිනම් යථෝක්ත ස්ත්‍රිය
සරාගී හැඟීමකින්
එකී පහර එල්ල කලා විය යුතුය. එය දුටු මෙගොඩ සිටි
කත (ඇතැම්විට
ඔහුගේ සැබෑ පෙම්වතිය) හඬන ලද්දේ තම පෙම්වතා පහර කෑම නිසා
ඇතිවූ දුකටද‚
නැතහොත් ඔහුගේ අනියම් සම්බන්ධය නිසා හටගත් දුකටද යන්න තීරණය කිරීම කතුවරයා විසින්
පාඨකයාට භාරදී ඇත. සැළලිහිණි සංදේශයේ මෙන් නොව මෙහි ලිංගිකත්වය සන්නිවේදනය වීම
එතරම් ප්‍රබල නොවන බවත් එය ව්‍යංගාර්ථයෙන් සන්නිවේදනය කර ඇති බවත් අවබෝධ කරගත
යුතුය.
ගිරා සංදේශය
හැර අන් සියලු සංදේශවල දක්නට ලැබෙන ශෘංගාරාත්මක අවස්ථාවක් වන “නළඟන රැඟුම” හංසයෙහිද දක්නට ලැබුණත් එහිදී නර්තනයේ ඇති රමණීයත්වය හුවා දක්වනු විනා කවියා
විසින් ඒ තුල ප්‍රබල ලෙස ලිංගිකත්වය සන්නිවේදනය කිරීමක් සිදු නොකරනු ලැබේ.
රඟන රඟ එරඟබිම සොඳුරු විදුලිය
රඟන රඟ වැන්න ගනකුළෙහි විදුලිය
111
වැනි පැදියෙහි මුල් කොටසින් දැක්වෙනුයේ නළඟනන්ගේ රැගුමෙහි දැකිය හැකි වනුයේ ගනකුළෙහි
විදුලිය කෙටීමක් හා සමාන බවක් පමණි.
එහෙත්
මයුරයෙහි දැක්වෙන 127 සහ 131 පැදි‚
හංසයෙන් උපුටාගත් ඉහත නිදසුන හා සසඳා
බලන්න.
යුග කොපුලා බිත උදුලා
මිණි කොඩොලා කර සසලා
එමන කලා රගන කලා
වත ම බලා රිසි නොපලා
127 පැදිය
[දෙකොපුලෙහි
ළෙල දෙන මැණික් තෝඩු‚ කුණ්ඩලාභරණ පැළඳ රඟ දෙන
කාන්තාවන් ගේ රූසිරි දේහයන් දෙස බලා සිටින්නකුට සිය කැමැත්ත (රාගී සිතුවිලි) ඉවතලිය නොහැකි බව මෙයින් දන්වයි. ]
“රූබර නළඟනක දිදුලන අබරණින් සැරසී සිරුරු ළෙලදෙවන විටෙක‚ එය දකින දනන් හට කාම සිතුවිලි පහල නොවන්නේනම් ඔවුන් නිසැකවම
වීතරාගී අයවලුන් විය යුතුමය.” යන අදහස
මෙයින් ගම්‍ය වේ.
අඟනක රඟ බැස රඟන තරායා
තනනා තන නම් රන් තිසරායා
විලසින් දනුයෙන් දෙව් අසරායා
දුන් ගී මන මත් කරවන රායා
131 පැදිය
[රංග
භූමියෙහි රගදෙන කාන්තාවන්ගේ සැලෙන පියයුරු රණ තිසරුනට තුලනය කරන කවියා ඔවුන් “දිව්‍ය අප්සරාවන්” හා සමාන
කරයි. ඔවුනගේ ගායනා විලාශය අසන්නන්ගේ සිත් රාගයෙන් මත් කරවන බවද පවසයි.]
දියට වන් හංසයන් ඔබ මොබ චලනය වන
අවස්ථාවක් සිහියට නගන විට මෙහි අර්ථය වටහා ගත හැක.
පුරාණ යුවතියන් උඩුකය නිරුවතින් සිටීම හෝ තිසර
පටකින් පමණක් සැරසී සිටීම එතරම් අරුමයක් නොවිණි. රංගනයේ යෙදෙන ළදක් එසේ අර්ධ නග්න
වස්ත්‍රයකින් සැරසී සිටින විටෙක ඔවුනගේ රංගන ලාලිත්‍යයත් සමග පියයුරු නර්තන රාවයට
අනුව චලනය වේ. ප්‍රේක්ෂකයාගේ දෙනෙත නිරායාසයෙන්ම යොමුවනුයේ එකී ළඳුන්ගේ සොඳුරු වූ
පීන පයෝධර වෙතටය.
“රති සැපය
විදීමට කෙරෙන ආයාචනාවක්” වැනි වූ
මෝහනීය ගීත මාධුර්යයද‚ ඒ සමග මුසු වූ විටෙක නර්තනය
රසවිඳින්නාගේ සිත් රාගයෙන් මුසපත්වීම ස්වාභාවිකය.
මෙකී පද්‍යය තුල ප්‍රබල
ලිංගිකත්ව සන්නිවේදනයක් සිදු කරන චිත්ත රූපයක්
රසික සිත් තුල මැවීමට සංදේශ කාව්‍ය
රචකයා සමත්වී ඇත.
මයුර සංදේශය
“කවීශ්වර” නම් වූ, ගුරුළුදැමිගේ මුණුපුරකු විසින් රචිත‚ සාහිත්‍යමය
අගයෙන් සැළලිහිණි සන්දේශයට පමණක්
දෙවැනි වන ඉපැරණි සිංහල සම්භාව්‍ය සන්දේශ කාව්‍යයක් වන මයුර සංදේශය ගම්පොල පස්වැනි
බුවනෙකබා රජුත්‚ බිසවත්‚ මෙන්ම
අලගක්කෝනාර‚ ආදිපාද හා දේවස්වාමි යන කුමර සොයුරනුත්‚ නිලදරුවන් හා සේනාවත් සඟරුවනත්
රක්නා ලෙස දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙත කෙරෙන අයැදීමකි.
මෙම කාව්‍ය සංග්‍රහය සදහා අලංකාර වර්ණවත්
පිල්කළඹක් සහිත මොණරෙකු දූතයෙකු ලෙස යොදාගත් අයුරු විමසීමේදී මොණරා ලිංගික කර්තව්‍යය
සඳහා සිය සහකාරියට ඇරයුම් කෙරෙන විට පිල් විදහා සිදුකරන
මෝහණීය නර්තනයද වෙසෙසින් දැක්විය යුතුය. මෙම කාව්‍යයද මයුර පිල් කළඹක අලංකාරය සේම ශෘංගාරාත්මක කාව්‍ය අලංකාරවලින් පොහොසත් වන අතර
උපමා රූපක භාවිතා කර සිදුකරන “ලිංගිකත්ව
සන්නිවේදනය” පිලිබඳ සැලකීමේදී
තිසර කවියාගේ ප්‍රතිභාවද අතික්‍රමණය කරන අවස්ථාවන්ගෙන් ගහණය.
පහත දැක්වෙන අතිශය
ශෘංගාරාත්මක නිදසුන සලකන්න.
සයුරු බොමින් කුඹුයොත්
දුටු සෙ මිණි පබා
පොකුණු බොනුව අපටත් සැලසි නම් බඹා
මෙ දිය කෙළෙනවුන
බණැ මිණි මෙවුල් සුබා
දැකුමැ එ තැනැ සලෙළුවො
කියති සිතු ලොබා
87 පැදිය
[පොකුණක
දිය කෙළින කාන්තාවන් පිලිබදව විස්තර කරන මෙම පැදියෙහි “කුම්භයෝනියා” හෙවත් අගස්ති ඍෂිවරයා වරෙක සාගරය පානය කර හිස් වූ පසු‚ එහි තිබූ විවිධ මාණික්‍යයන්ගේ අලංකාරය දැකගත හැකිවූ බවද
පාඨකයාට සිහිපත් කර දෙයි.
මහා බ්‍රහ්මයා විසින් තමන්ට (සළෙලු දනන්ට) ද එසේ මෙම පොකුණ බී හිස් කිරීමට වරම් දුනහොත් පොකුණ
හිස්වීමෙන් දිය කෙළින ළඳුන්ගේ
හිණෙහි බැඳ ඇති මිණි මෙවුල් දම් දැකගත හැකිවන කවියා ප්‍රකාශ කරයි.]
මෙය ව්‍යංගාර්ථයෙන් සිදුකරන ප්‍රකාශයකි.
දියට වන් ළඳකගේ දිය කෙළි අවස්ථාවක් පිරිමි සිත් තුල ඇතිකරනුයේ
ලිංගිකත්වය පදනම් කරගත් සියුම් මනෝ භාවයකි.
දිය කෙළින ළදකගේ හැඳිවත
පිළිබද ඇගේ අවධානය‚ ඇගේ ක්‍රීඩාවන් නිසා හෝ
වෙනත් යම් දෙයක් පිළිබඳව ඇගේ
සිත යොමුවීම හේතුකොටගෙන හෝ “නිරායාසයෙන්ම
ඉනෙන් ගිලිහී ගොස් ඇති බවක්” මෙම
කවියෙන් ධ්වනිත වේ.
කතුන් මිණි මෙවුල් පළඳිනුයේ සිය ඉනට හැඳි වතට
යටින් වන බැවින්‚ මිණි මෙවුල් දැකීම යනු “සමස්ත නාරි දේහයම දැකීම” බවට
උපකල්පනය කෙරේ. දිය කෙළින ලඳකගේ
නග්න සිරුරේ අසිරිය සිහිවී රසිකයාගේ සිත අමන්දානන්දයට පත්වන බවක් මෙම පද්‍යයෙන්
අදහස් කෙරේ.
සම්මතයක් ලෙස සංදේශ කාව්‍ය
රචකයන් පමණක් නොව බොහෝ පුරාණ කවීන් ස්ත්‍රී පයෝධරයන් රණ හංසයන්ට උපමා කරන ලද නමුත්
පහත පැදියෙන් ඒවාට “රණ හංසයන්ද පරදවන සුලු පියකරු
බවත්” ඇති බවට මයුර කවියා ප්‍රබල අන්දමකින් වර්ණනා කර ඇත.
ගෙවුයන් සිරින් සැදි උයනෙව් පුරන්දර
ඉසුරින් දනන් රැඳි ගුණයෙන් නිරන්දර
අඟනන් තෙනෙන්
කල රන්හසුන සුන්දර
යව සන්තොසින් දැක ගුරුගොඩ අරන්දර
29 පැදිය
[සක් දෙවිඳුගේ උයන වැනි ගෙවුයන් සිරියෙන් සැදුණු මනා ගුණයෙන් යුතු ජනතාව
රැඳුනු රණ හංසයන් පැරදවූ දැකුම්කලු පයෝධරයන් හිමිවූ කාන්තාවන්
ගුරුගොඩ අන්දරදී දැක සතුටින් යන්න.]
වැඩුණු ළදුන්ගේ පීන පයෝධරයන් මෙන් නොව නව
යොවුන් වියේ පසුවන ළඳුන්ගේ නොමේරූ පියයුරු වල දැකිය හැකි‚ තරුණයන් වඩාත් ආකර්ශණය
කරන්නා වූ අයස්කාන්ත බව මයුරයේ කවියා දක්වනුයේ මෙසේය.
ළඳුන් කැකුලු
තනපට බැම්මකින් යුතේ
එවන් දගේ සිට දුටුවන් ද
බැඳලතේ
මෙයින් මිදීමෙන් පැලඹුන් ලැබුණ හොතේ
සෙදින් මෙමුලු ලොව වුව බැඳ ලතී සිතේ
118 පැදිය
[තරුණ
කාන්තාවන්ගේ පියයුරු තනපටින් බැඳ ඇති
මුත් එයට දුටු දුටු අයව බැඳගැනීමේ හැකියාවක් තිබේ.
එම බැඳීමෙන් නිදහස් වුවහොත් එම පියයුරුවලට මුලු ලෝකයම වුවද බැඳ තබාගත හැකියැයි මට
සිතේ.]
වැඩෙන්නට
වෙර දරණ නොමේරූ තන කැකුලු තුරුණු පිරිමි
සිත් කාමයෙන් ආශක්ත කරයි. එම ලපටි පියයුරු වසා ඇති තනපට වූ කලී‚ ඔවුනගේ මනෝ භාවයන්
මුදුන් පමුණුවාගැනීමට පවතින බාධාවකි.
එබැවින්
එම බැඳීමෙන් පියයුරු නිදහස්වී “ලෝකයේම නෙත් වසඟ කරලීමට ඉඩහැරීම වඩාත් යෝග්‍ය බව”
පවසමින් අපූර්ව ලෙස ශෘංගාරය ජනිත කරවීමක් මෙම පැදිය තුල විමර්ශනය කල හැකිය.
මයුර කවියා සතු ප්‍රතිභා මහිමය
පිළිබිඹුවන තවත් කදිම අවස්ථාවක් 97 වැනි පැදියෙන් ගෙනහැර දැක්විය හැකිය. ස්වාභාවික
සංසිද්ධීන් අපූර්ව ලෙස කාන්තා සිරුර හා අවයව සමග ගලපමින් කතුවරයා විසින් ජනනය කරන ශෘංගාර
රසය කෙබඳුදැයි එතුලින් හෙලිදරව් වේ.
පියයුරු අඳුරු තුරු සලු
පටිනි වසමිනි
නිසකත එසඳ එක සිය කර අකුලමිනි
පරදර වරද වරමින් වරගුණ සිතිනි
සියකුල සිරිත රිවි මුලු ලොවට පෑ වැනි
97 පැදිය
[එකල්හි
රාත්‍රිය නමැති කාන්තාව සිය පයෝධරයන් අඳුර නමැති
සලු පටින් ආවරණය කරමින් එනවිට‚ හිරු තමාගේ රැස් නමැති අත් හකුලුවමින් උත්තම ගුණයෙන් යුත්
සිතින් අන් අඹුවන් හා සමග හැසිරීමේ වරද අත්හැර‚ සිය
කුළයට ගැලපෙන සිරිත මුලු ලොවටම ප්‍රකාශ කලා මෙන් විය.]
කාන්තා පියයුරු හංසයන්ට
උපමාකිරීම වැනි සුලභ උපමාවලින් ඔබ්බට ගොස් වෙනස්ම ආඛ්‍යාන රීතියක් අනුගමනය කරමින්
සාර්ථක ලිංගිකත්ව සන්නිවේදනයක් සිදුකරන අවස්ථාවක් ලෙස මෙම පද්‍යය හදුන්වාදිය
හැකිය. රාත්‍රිය උදාවීම‚
අන්ධකාරය පැතිරීම වැනි ස්වභාව ධර්මයේ අවස්ථා රති ක්‍රීඩාවට ප්‍රිය සළෙලුන්හට කෙරෙන
ආරාධනාවක් වැනිය. රාත්‍රිය‚
අන්ධකාරය තුලින් සිය මන බදින පයෝධර වසාගෙන සළෙලු දනන් වෙත පියමන් කරන කාමිණියකට
තුලනය කර ඇත. සාමාන්‍යයෙන් හැඟුම්
පුබුදුවන නිශා යාමයක එසේ තමා වෙත පියනඟන ළඳකගේ
සලුපට ඉවත්කර ඇගේ ගත පහස විඳීමට
සළෙලුන් ප්‍රිය කරයි. එහෙත් මෙම පැදියේ හිරු ලෙසින් හඳුන්වා දී
ඇත්තේ පරදාර සේවනය පිළිකෙව් කල උතුම් ගතිගුණ ඇති පුරුෂයෙකු පිළිබඳවය. හිරුගේ තේජාන්විත භාවය හා උත්තුංගභාවය‚ කුල සිරිත් ගරු කරන සත්පුරුෂයෙකුගේ අතිජාත ගති ලක්ෂණයන් හා
සමාන කරමින් කවියා විසින් යථෝක්ත කවියෙන් හැඳින්වෙන
පුරුෂයාව උසස් කොට සලකා ඇත.
ස්ත්‍රී පුරුෂ සම්භෝගය පිලිබඳ විස්තරයක් හා නාරි දේහ වර්ණනාවක් පැවතියද‚ සමාජයට වැදගත් ආදර්ශයක් ලබාදියහැකි පණිවුඩයක්ද මෙම පැදිය
තුල සියුම් ලෙස අන්තර්ගත කර ඇත. “කලාවේ
අරමුණ වියයුත්තේ ආනන්දයෙන් ප්‍රඥාව කරා ගමන් කිරීම” බවට වන
පැරණි වියත් වදන මයුර කවියා නිසිලෙස අවබෝධ කරගත් සෙයකි. සියුම් ලිංගික සන්නිවේදනයක්
සිදුවුවත් එය ඔහු භාවිතා කර ඇත්තේ රසික හැඟීම්
පුබුදුවාලන අතරම ඔහුව යහමගටද ගෙනයාමටය. එතුලින් මහා කාව්‍ය සම්ප්‍රදාය සතු “රසිකයාගේ හැඟීම්
පාලනය කරමින් ලිංගිකත්වය සාර්ථකව සන්නිවේදනය කරවීමේ විශිෂ්ට ගුණාංගය” මනා සේ මූර්තිමත් කරවීමට කවියා සමර්ථ වූ බවක් පෙනේ.
ගිරා සංදේශය
කතුවරයා අඥාත වන ගිරා සංදේශය ස’වැනි පැරකුම්බා රජුත්, ලක්දිවත් නිරන්තරයෙන් රැක ගන්නා සේ දන්වමින්
නාථ දෙවියන් අයදින ලෙස සිරි රහල් හිමියන්ගෙන් කෙරෙන ඉල්ලීමකි. මෙහි දූතයා ලෙස යොදාගෙන ඇති ගිරවා යනු හරිත වර්ණ
පක්ෂියෙකි. හරිත වර්ණය සොබාදහමට අනුගතවන අයුරින්ම මෙකී සංදේශ කාව්‍යයද අවට පරිසරය
වර්ණනා කරමින් හා ස්වාභාවික සුන්දරත්වය හුවා දැක්වීම විෂයෙහි කැපී පෙනෙමින් සිය
මෙහෙවර ඉටු කරයි. ගිරා සංදේශයෙහි ස්ත්‍රී වර්ණනාවට එතරම් ඉඩක් වෙන් කර නොමැත.
එහෙත් ලිංගිකත්වය සන්නිවේදනයෙහි ලා ගිරා සංදේශයෙහි වැදගත් වන පැදි කිහිපයක් පහත
දැක්වේ. ඒ තුල වුව ශෘංගාරය නියෝජනය වනුයේ “සොබා දහම සමඟ ඒකාත්මික කිරීමක්” තුලිනි.
ගිරා සංදේශයේ “දියකෙළි වැනුමෙහි” ලිංගිකත්වය
සන්නිවේදනය වන අවස්ථාවක් පහත දැක්වේ.
විලසින් දිය කෙළ කෙළ යෙත නො හැලී
වෙසෙසින් නැගි රළ
රොන් ගඟ
ඉපිලී
පහසින් තම
එක සරි යැයි
එ කළී
සතොසින් ලොමු දහ ගත්
සිරි කියෙලී
85 පැදිය
[ළඳුන් නොනැවතී කරන දිය කෙළියෙන් වෙසෙසින් රළ
නැගෙයි. ඉන් විහිදෙන දිය රොන් ගඟ මතුපිට ඉල්පී සිටී. එවිට ගඟ ලොමු දැහැගත් සේ දිස්වේ. “ළඳුන්ගේ ද‚ ගඟ දිය පහසද
සිහිල්ය.”
ගඟට‚ ළඳුන්ගේ පහස දැනී “ඔවුන්ගේද‚ තමගේද පහස එක සරි” යැයි ප්‍රීතියෙන් පැවසූ බවක් මෙයින් ප්‍රකාශ
කෙරේ.]
දිය කෙළි අවස්ථාවකදී ළඳුන්ගේ අත්
ඔබ මොබ යාම නිසා ගඟ දිය රැළි නැගෙයි. එවන් විටෙක ප්‍රචණ්ඩ වූ ගඟ‚ කාම සිතුවිලි
පිරී ඉතිරී ගිය සළෙලකුගේ නොහික්මුණු සිතකට සමාන කරනුයේ ගඟ ලොමු දැහැගත් සේ දිස්වන
බව ප්‍රකාශ කරමිනි. කාම සම්භෝගය ප්‍රිය කරන සළෙලෙකුට රූබර ළඳුන්ගේ පහස ලැබීම වූ
කලී‚ වෙහෙසට පත්ව සිහිල් දියෙන් ගත සනසාගැනීමට දියට වන් අයෙකු “ගඟ දිය පහස විඳින්නාක්” මෙන් සුවදායක බවක්
ගෙනදෙන්නකි. මෙම පැදියෙන් සන්නිවේදනය කරනුයේ රති සැපතෙන් අපේක්ෂිත එකී සුවදායක
බවයි.
මෙහිදී සොබා දහමේ අසිරිය ශෘංගාරාත්මකව කෙරෙන
වර්ණනාවක් ලෙස පහත පැදිය දක්වාලිය හැක.
ගවසා සුනිල් වරලස කුසුම පටියන
වෙහෙසා තනන තන රණ තිසර පැටියන
සහසා දිවෙන ලිය දැක තැවෙන ඇටියන
නොලසා මිතුර යා ගන් නොසිට යටියන
61 පැදිය
[ඉතා නිල්වූ කේශ කලාපයෙහි සුළඟට යන්නා වූ මල් පටි ගවසා සෙලවෙන්නා වූ පයෝධර
නමැති රාජ හංස පැටවුන් වෙහෙසට පමුණුවමින් වහා දිවෙන්නාවූ ස්ත්‍රීන් දැක ඔවුන්
කෙරෙහි ලොල් වූවන් තැවෙන්නා වූ‚ යටියන නොසිට මා මිත්‍රය‚ වහා යන්න.]
නීල වර්ණ දිගු කේශ කලාපය වූකලී යුවතියකගේ පංච කල්‍යාණියෙහි එක් අංගයකි. දිව යන ස්ත්‍රියකගේ
දිගු කෙස් කලඹ සුළඟට
සෙලවෙයි. මල් වැලින් පමණක් සැරසූ නිරාවරණ උඩුකය හා සැළෙන කෙස් කලඹ පිරිමි සිත්
රාගයෙන් මෝහනය කරවයි. ළඳුන් දිව යනවිට මල්වැලින් සැරසූ ළැම සෙලවෙයි. හංස
පැටවුන් යනුවෙන් අදහස් කරනුයේ “බාලොළියන්ගේ පීදී එන ළමැද”යි. කැකුලු තන යුග සැලෙනු දුටු විට ඒ කෙරෙහි
ලොල්වූ පුරුෂයන් එම ළඳුන්
හිමි කරගත නොහැකිවූ දුකින් ළතැවෙයි. යටියන පෙදෙසේ දැකිය හැකි යුවතියන්ගේ මෝහනීය බව
කවියා මෙතුලින් ප්‍රකාශ කරමින් ගිරා දූතයාට පවසනුයේ ඒ දෙස නොබලමින් සිය රාජකාරිය
සදහා පියඹා යන ලෙසය. ඒ මන්ද යත් “එසේ නොවුවහොත් ඔහුටද (දූතයාටද) නිතැතින්ම සිය කර්තව්‍යය ඉටුකිරීමට අමතක වේ යැයි
රචකයා බිය වූ”
හෙයිනි.
කෝකිල
සංදේශය
මෙහි කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් “තිලක පිරුවන්
හිමි” ය. යාපා පටුනේ ජය සපුමල් කුමරුහට තහවුරු කරදී එ’කුමරුත්‚ සවැනි සිරි
පැරකුම් රජුත්‚ මැති සෙනඟත් ආරක්ෂා කරන මෙන්
තමන් දෙවිනුවර උපුල්වන් දෙවිඳුන් යදින බව පවසමින්‚ සපුමල් කුමරු
වෙත යැවෙන සදේශයක් වන මෙහි දූත මෙහෙවර සදහා කොවුලාව තෝරාගැනීමට හේතුව ඔහු මියුරු
සර ඇත්තෙකු වීම බව 5 වන පැදියෙහි සඳහන්වී ඇත්තේ මෙසේය.
“හැ ම ගේ ළ ගෙනැ පවසන
මියුරු තෙපුලෙන
නො හැඟේ මෙ තතු කීමට තොප මිසක් වෙන”
එමෙන්ම 6 වන පැදියෙහි සඳහන්වන පරිදි අනෙකුත්
පක්ෂීන් තුල පවතින දුර්වලතා කොවුලා සතු නොවීමද මෙහිදී සලකා ඇත.
එනම් “වැසි වසින විටෙක
හංසයන් මානස විලෙහිද‚ මීමැස්සන් රුක් බෙනෙහිද සැගවෙන හෙයින් සහ මොණරුන් හිරු බසින
යාමයෙහිදී රැඟුම් සදහා ආශාවෙන් ප්‍රමාද වන බැවින් එම පක්ෂීන් මෙකී දූත මෙහෙවරට
නුසුදුසුය. එසේ හෙයින් මෙම කාර්යයට තොපම පමණක් සුදුසු යැයි මට සිතේ” යනුවෙනි.
“සැ බැ වි න් ගන කලට හස සප ද සුර පතේ
ත බ මි න් ගමන් සරැ තුරු සිදුරැ සැඟැ
වෙතේ
ලොබයෙන් රැඟුමැ ලස් වෙති මියුරු දිය නෙතේ
එ බැ වි න් තොප මැ නිසි බව මෙ යතුරට සිතේ”
සැළලිහිණිය හා මයුරය තරමටම අලංකාර නොවෙතත්‚ කෝකිල සංදේශ
කාව්‍යයේ අන්තර්ගත විවිධත්වයෙන් හෙබි ආකර්ශණීය උපමා උපමේය භාවිතයන් හා ස්ත්‍රී
පුරුෂ සම්භෝගය මෙන්ම යම් සමාජමය වටිනාකමක් ගෙන දෙන පද්‍යයන් කිහිපයක් පහත දැක්වේ.
දුල රන්රසු රැවු දී මෙවුල ඉකිළිය
ලොල වඩවන සලෙළුව නො හැකිළිය
තුල රන් ලිය ලිය යන එන
තුනු ලෙළිය
බල ම’ මිතුරු සඳ කොස්ගොඩ වෙල් එළිය
86 පැදිය
[ම ගේ උතුම් යහළුවාණෙනි, උකුළේ (බැඳි) බබළන මෙවුල් දමේ රන් මිණි ගෙඩි හඬවා, නො පසු බා සලෙළ
දනන් ගේ ලොල් බව හෙවත් ආශාව වඩන්නා වූ රන් වැල් බඳු ළියන් සිය සිරුරු ලෙළ දෙවමින් යන එන කොස්ගොඩ වෙල් යාය බලව!]
උකුළේ බැදි මෙවුල්දමේ මිණිගෙඩි සැලෙන
හඬ‚ රන් රුවැති ලියන් ළෙලදෙමින් ගමන් ගන්නා
විලාසය දැකිය හැකි චමත්කාරජනක වූ කොස්ගොඩ වෙල්යාය පිලිබඳව කෙරෙන මෙම විග්‍රහයද අපූර්ව ලිංගිකත්ව සන්නිවේදනයක් සිදුකරයි.
එහෙත් මයුරය හා සැළලිහිණිය වැනි සිතට කාවදින බස් වහරක් මෙහිදී රචකයා භාවිතා කර
නොමැති සෙයකි.
ම න ද ම් පා මහමෝදර මැදැ තිබෙන
ම න ර ම් පා ණෙහි ලිතු කුරු පෙළ නදන
වෙනදම් පා වෙසෙතෙයි සිඳු හිමි අතින
හොය කම්පා ඇරැ ගත් කැට පතක්
මෙන
84 පැදිය
[මාදම්පා ඔය මූදට වදිනා තැන මෝදර මහත්ය
. ඒ නිසා ඊට (මාදම්පා) මහ මෝදර යනුවෙන් ව්‍යවහාර වේ. ඒ මෝදර මැද්දේ සිත් ගන්නා සුලු
ගලෙක් ඇති අතර එහි කොටන ලද අකුරු පෙළෙකි. ඒ අකුරු පෙළ (මුහුද නැමැති තම හිමියා අන් අයෙකු වෙත පෙම දක්වා වසනවා ඇතැයි සිත සසැලුන) ඔය නැමැති “අඹුව” වෙත‚ තම හිමි සඳ අනෙකු වෙත ආදරය නො දක්වන බවට, ඔහු අතින් ලියවා
ගත් පොරොන්දු පත්‍රයක් සේ දිස්වෙයි.]
ආදි යුවතියන් ගේත් පතියන් ගේත් ගිහි
දමින් බැඳුම් අද සේ දැඩි නොවේ. කුල සිරිත්‚ ආගම පිළිවෙත් අනුගමනය කරමින් “දෙඇඟිලිවල නුල් බැඳ පැන් වැඩීමෙන් දෙ දෙනෙකු අඹු හිමි
බවට පත් කරනු මිස” අද සේ නීති ප්‍රකාරව
විවාහ ලියාපදිංචියක් එදා නොවීය. එ හෙයින් අඹුවකගේත්‚ හිමියකුගේත් වෙන් වීම එදා සමාජය තුල ඉතා සුළු දෙයක් විය. හිමියා හැර
යාම අඹුවට හෝ අඹුව දමා යාම හිමියාට හෝ සිතුනු විටෙක කළ හැකිවිය. එවන් සමාජයක කෝකිල
සංදේශයේ දැක්වෙන ඉහත “පොරොන්දුව” අදට වඩා දැඩිව සන්නිවේදනය වන
අවස්ථාවක් සේ දැක්විය හැක. ස්ත්‍රී වර්ණනාවලින්ම ආඪ්‍ය වූ සංදේශ කාව්‍ය අතර “අඹු සැමි ප්‍රේමය තුල පවතින ලිංගිකත්ව
බැඳීම” පිලිබඳව සිදුකෙරන සියුම්
සන්නිවේදනයක් මේ තුල ගැබ්ව ඇත.
විහිදුණු රත සර වන රන හසේ
ගත ඇති පැහැ වෙන් වනු කුම් ලෙසේ
වෙතැ දිය කෙළනා ලිය තන ලෙසේ
දැකැ විළියෙන් සිය වෙස් වළන සේ
226 පැදිය
[පිපුණා වූ රත් නෙළුම් කරා පැමිණි රණ
හංසයාගේ සිරුරෙහි පාට වෙනස් විම කවර අයුරු’දැයි පවසන්නේනම් ඒ අසළ දිය කෙළිනා ලියකගේ පියයුරුවල ස්වභාවය
දක්වමින් ලජ්ජාවට පත්ව හංසයා තමාගේ වෙස් සඟවන්නාක් (හෙවත් වෙස් මාරු කරනවා) බඳුයි.]
රණ හංසයා පරදවන පියකරු වූ පයෝධර එ’ළඳ සතු බව පවසන මෙය අනෙකුත් සංදේශ කාව්‍යවල දක්නට ලැබෙන සුලභ උපමාවම
නැවතත් යෙදීමකි.
නිගමනය
ඉහත උදාහරණ සියුම්ව විමර්ශණය කිරීමේදී මහා කාව්‍ය
සම්ප්‍රදායට අයත් සිංහල සංදේශ කාව්‍ය සියල්ලම පාහේ අඩු වැඩි වශයෙන් ලිංගිකත්වය
සන්නිවේදනය කරන බවත්‚
ඒ සදහා උපමා රූපක භාවිතය‚ කතුවරුන් විසින් අනුගමනය කරන මනා සංයමයෙන් යුතු විදග්ධ භාෂා ව්‍යවහාරය‚ චිත්ත රූප මැවීම ආදී කාරණාවල බලපෑමෙන් කෘතිය තුල
ලිංගිකත්වය සන්නිවේදනය කිරීමෙහි ලා වත්මන් බොහෝ (කළා නිර්මාණයැයි හදුන්වන) කෘතීන් හා සැසඳීමේදී අවර ගණයේ රසයක් නොව “සැබෑ ශෘංගාර රස උද්දීපනයක්” සිදුකිරීම තුලින් කලා කෘතියකින් ඉටුවියයුතු සමාජමය මෙහෙවර නිසි ලෙසින් ඉටුකල බව ගෙනහැර දැක්විය
හැක.
එහිදී ලිංගිකත්වය “වඩාත් ප්‍රබල ලෙස නියෝජනය වන” සංදේශ කාව්‍ය ලෙස සැළලිහිණිය හා මයුරය පෙන්වා දිය හැකි අතරම‚ ගිරා සංදේශය සහ වඩාත් සංයමයක් සහ හික්මුණු බවක්
නිරූපණය වන (බොදු පසුබිමක් සහිත) “හංසය” තුල ලිංගිකත්ව සන්නිවේදනය කෙරෙහි එතරම් අවධානයක්
යොමු නොවූ බවද ප්‍රකාශ කල හැකිය. ගිරා සංදේශ කතුවරයා අනෙකුත් අවස්ථාවලදී මෙන්ම ලිංගිකත්වය සන්නිවේදනය කිරීම සඳහාද‚ බහුල
ලෙස භාවිතා කර ඇත්තේ සොබා දහම ආශ්‍රිත සුන්දරත්වය නිරූපණය වන උදාහරණම වීම විශේෂත්වයකි. ලිංගිකත්වය ප්‍රකාශ කිරීම තුල පවතින “නිර්මාණාලංකාරය” අතින් “මයුරය” ‚ අනෙකුත් සංදේශ අභිබවන රසාලිප්ත බවක් පෙන්වයි.
“දිය කෙළි වැනුම්” ලිංගිකත්වය සන්නිවේදය කිරීම සදහා සංදේශ කතුවරුන්
විසින් භාවිතා කර ඇති සුලභම අවස්ථාවකි. සිය අන්තඃපුර ළඳුන් සමග ජල ක්‍රීඩාවෙහි යෙදීම “ලිංගික හැඟීම් අවදිවන අවස්ථාවක් ලෙස” බොහෝ පැරණි රජවරුන් විසින් සැලකීම මෙහි ලා
වෙසෙසින් සැලකිය යුත්තකි.
“පුර වැනුම්” තුල බොහෝ විට අර්ථවත් වනුයේ නගරයක අත්‍යාවශ්‍ය
අංගයක් ලෙස එකල සමාජය විසින් හඳුනාගත් “පුරඟනන්” හෙවත් අභිසරුලියන් ගේ රූප ශෝභාව හා ඔවුන්
දැක්මෙන් පිරිමි සිත් තුල මෝදුවන රාගික හැඟීම්ය.
ලිංගිකත්වය සහ කාමභෝගී සිතුවිලි සැඟවිය යුත්තක් නොව ජන ජීවිතය තුල අනිවාර්යයෙන්ම සපුරාගතයුතු මානව අවශ්‍යතා බව පැරණි කවියා විසින් හඳුනාගත් නමුත් එය කලා කෘතියක් තුලදී “වඩාත් සංයමයෙන් යුතුව” නිරූපණය කිරීමෙහි ඇති වැදගත්කමද පැරණි සිංහල සංදේශ
කාව්‍ය කතුවරුන් විසින් සිය නිර්මාණ තුල මනා කොට පෙන්වා දී තිබෙන බව අවසාන වශයෙන් නිගමනය
කල හැකිය.
-
කේ.එම්.ජී.එන්. අබේසිංහ -
-
FGS/MA/MACO/2016/023 -
ආශ්‍රිත ග්‍රන්ථ:
01. ගම්ලත් එස්. (සහස්‍ර ප්‍රකාශකයෝ - 2006)‚ “ගිරා සදෙස හා විනිස”
02. අබේසිංහ
ඩබ්ලිව්.ඒ. (ආරිය ප්‍රකාශකයෝ - 1991)‚ “කවිය ගීතය හා සමාජය”‚ පරිච්ඡේද 01 සිට 05 දක්වා
03. තිලකසිරි
එස්. (එස්.ගොඩගේ සහ සහෝදරයෝ - 2012)‚ “වීදාගම වෙහෙරවැසි මෙත් මහනෙත් පාමුල තෙරිදුන් කළ
හංස සංදේශය”
04. ගුණරත්න
එල්. සහ ගුණරත්න කුමාරි (රත්න පොත් ප්‍රකාශකයෝ)‚ “සැළලිහිණි සංදේශය - පෙළ විස්තර හා රසවිඳීම සහිතය”
05.
ගලහිටියාව එස්. (එස්.ගොඩගේ සහ සහෝදරයෝ - 1996)‚ “විස්තරාත්මක සැළලිහිණි සංදේශය”
06. අබේපාල
ආර්. සහ විජයරත්න මැණිකේ ඒ. (සාර ප්‍රකාශන - 1995)‚ “හංස සංදේශය විචාර නිබන්ධන”
07. ශාස්ත්‍රපති
ලියනාරච්චි ආර්.ඒ. (සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - 2007)‚ “ලිහිල් පදගතාර්ථ සහිත මයුර සංදේශය”
08.
websites:
https://si.wikibooks.org/wiki/කෝකිල_සන්දේශ_කාව්ය (access date –
2017.04.28)
No comments:
Post a Comment